Usual in Daily

Feelings are much like Waves, we can't stop them from coming but we can choose; which one to surf.

School Times

We didn't realize we were making memories, we just knew we having F U N....

ගැහැණු ළමයාගේ කතාව

I'm so thankful I had a childhood before technology took over....

For a better Life

I will love the LIGHT for it shows me the way,yet I will endure the darkness because it shows me the sTaRs...

It's Shows me

A private life is H A P P Y Life

ලූෂන් පුෂ්පරාජ්


ලූෂන් පුෂ්පරාජ්


සිහින නැත්තෙ කාටද..ඒත් ඒ සිහින වෙනුවෙන් වැඩ කරන්නෙ කී දෙනාද????
මමත් කවදා හරි සිහිනය සොයා යනවා...සිහින දකින්නම ඔනේ සිහින සැබෑ කරගන්න හැබැයි කැපවීමත් තියෙන්න ඕනේ....




✍Sihine Soya Enawa [Lyrics] 

සවනේ රැව් දේ පෙරදා හැඬූ රාවේ 
ගිලිහේ දෙනෙතින් ගිනි ජාලා වියෝවේ

 වැටිලා රිදුනත් හද විමානේ 
නොසැලී දැල්වෙයි සිත ප්‍රතාපේ 

දැවුණු නිවහනේ අළු හා පිබිදී සොයා එනවා 
මරු  හා වැතිරී සිහිනේ සොයා එනවා 

 රවටා පාගා වැලලූවත් විලාපේ 
තෙරපා නෙරපා අඳ වූවත් මුසාවේ

 වැටිලා රිදුනත් හද විමානේ
 නොසැලී දැල්වෙයි සිත ප්‍රතාපේ 

 දැවුණු නිවහනේ අළු හා පිබිදී සොයා එනවා 
 මරු  හා වැතිරී සිහිනේ සොයා එනවා
 
      මගේ හඬ වලලනු බෑ 
      නෙත් අඳ කරලනු බෑ 
       සිහිනය වලකනු බෑ 
        යලි මා නවතනු බෑ
       යලි මා නැවතෙන්නෑ 

සිහින ලුහුබඳිමු...

සිහින ලුහුබඳිමු...
(copied)
 
අපි සියලු දෙනා සිහින දකිමු. ජීවිතය ජීවත් කිරීමට සිහින හෙවත් අරමුණු ඉතා වැදගත්‍ වේ.සිහින හඹා ගිය මිනිසුන් මගේ ලොවේ පරමාදර්ශී චරිත වේ. "මිදි සහ මතක" යන්හි එන නතාලි සීබ්‍රිං ද, සැබෑ මිනිසෙකුගේ කතාවේ එන ඇලෙක්සෙයි මාසියෙව් ද, කාන්තාරයේ කුසුමෙහි වාරිස් ඩයරිද,මැදියම් රැයෙහි එන කොන්ස්ටන්ටීන් ඩෙම්‍රිස් ද, මෙක්සිකානු චිත්‍ර ශිල්පිනී ෆ්‍රීඩා කාර්ලෝද, සූපවේදී මහාචාර්‍ය පබිලිස් සිල්වා මහතාද, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාද මගේ ලොවෙහි සිහින සැබෑ කරගත් මිනිසුන්‍ වේ. මමද සිහින දකින්නෙක්මි. එමෙන් සිහින හඹා යමි.
අතේ සතයකුදු නැතිව නිදහස්- ස්වාධීන ජීවිතයක් සොයා ස්තිර ලෙසම මා දෙමව්පියන්ගේ නිවසින් පිටව යන විට විසි හතර වන වියේ පසු වීමි. ඒ වන විට රැකියා කිහිපයකම නිරත වී ඒවා එපා වීම නිසා සුපුරුදු පරිදි නිවසේ රොස් පරොස් වලට මැදි වීමට සිදු වීමත්, චිත්‍රපටයක වැඩ කිරීමට ලද අවස්තාවට පියා විරුද්ධ වීමත් මේ නික්ම යාමට ප්‍රධාන හේතුව විය. සත්‍ය තත්වය සලකන විට ඔහු විසින් නිවස හෝ චිත්‍රපටි තෝරා ගැනීමට මට අවස්තාව දුන් අතර කුඩා කළ සිට ඔහු හැර නිවසේ සිටි අපි සියලු දෙනා ලංකාවේ තවමත් දුලබ නොවූ ගෘහස්ත මානසික සහ වාචික අපයෝජනයේ පීඩිතයන් වීමු. ඔහු කිසිදා නොසිතූ පරිදි මම චිත්‍රපටය තෝරා ගත් අතර පසුදින shooting ආරම්භ වීම නියමිත වූ අතර ඇඳුම් කිහිපයක් පමණක් ගෙන මම නිවසින් පිට වීමි. මාස 3ක කාලයක් සඳහා ආහාර- නවාතැන් ගැටලුව විසඳුනේ චිත්‍රපටයෙන් ඒවා සැපයුන බැවිනි.
මීටර් නොමැති ත්‍රී රෝද රියක නැගීමට පෙර ගාස්තුව කතා කර ගත යුත්තේ යම් සේද- චිත්‍ර පටි වලදීද වැඩ ආරම්භ කිරීමට පෙර මිල ගනන් කතා කර ගත යුතු බව මම නොදැන සිටියෙමි. අනෙක් අතට චිත්‍රපටි අත් දැකීම ලැබීමට ඇති අවශ්‍යතාවය විසින් ගාස්තු කතා කර ගැනීමට හිතට ආ අදහස වලක්වනු ලැබිනි. දවල් තරු පෙනුනේ මාස තුනක් දිවා රෑ වෙහෙසී වැඩ කිරීමෙන් පසු නිශ්පාදක මහත්මිය විසින් චිත්‍රපටියට දායකත්වය ලබා දීමට ලැබීම මා ලද විශාල භාග්‍යක් බව ප්‍රකාශ කර සුලු සන්තෝසමක් අත මිට මෙලවූ විටය. එක් අතකින් ඇය වැරදි නැත. ජීවිතයේ කිසිදා අමතක කළ නොහැකි- අමතක නොකළ යුතු සැබෑ මිනිසුන් කැලතක් හඳුනාගැනීමට චිත්‍රපටය මට මග පෑදුවේය. මාස තුන අවසන් වන විට චිත්‍රපට කර්මාන්තය හරහා අඳුනා ගත් මිනිසුන් නිසාත් මම ලෝකය- ජීවිතය දෙස සිටියාට වඩා පුලුල්ව සහ විවුර්තව බැලීමට පටන් ගතිමි.
මාස තුනක් තිස්සේ ශ්‍රමය හෙලා මා ඉපයූ මුදල සැබැවින්ම මාසයක්වත් තනිව ජීවත් වීමට ප්‍රමාණවත් නොවීය. නමුත් ලෝකයේ සියලු ශිශ්‍යයින් ලැබිය යුතු යැයි මා විශ්වාස කරන විශ්ව විද්‍යාල ජීවිතය ( දෙමව්පියන්ගේ නිවසේ සිට- ගෙදර වාහනයෙන් යන එන- ගෙදර වියදමින් කන බොන- රජයේ විශ්ව විද්‍යාලයක නම් ඉතා සුලු පිරිසක් බුක්ති විඳින ජීවිතය නොවේ) තුලින් ලැබූ කටුකත්වය දරා ගැනීමේ හැකියාව සහ ආත්ම විශ්වාසය මෙහිදී මට මහත් පිටුවහලක් විය. කුසගින්න, මුදල් නැති කම, රුපියල් දෙකක් ඉතුරු කර ගැනීමට කිලෝමීටර් ගනනක් පයින් යාමට සිදු වීම, ඕන බිමක- ඕන අගු පිලක- ඕනෑම දෙයක් කිසි බඩේ ගායක් සාදා නොගෙන කෑමට ඇති හැකියාව සහ අහස හිස මත කඩන් වැටුනත් නිස්කල්ංකව හිඳ ඊළඟට ගත යුතු පියවර කල්පනා කර බැලීමට හැකියාව දියුණු කිරීම සිව් වසරක විශ්ව විද්‍යාල ජීවිතයේ මා උගත් පාඩම්‍ වේ. මොන පාඩම ඉගෙන ගත්තත් චිත්‍රපටි මාස තුන අවසානයේ මගේ සිත නොසැලුනා යයි කීමට නොහැකිය. මා අභියස විසඳාගත යුතු ප්‍රධාන ගැටලු 3ක් විය.
1. ඉන්නේ කොහෙද
2. කන්නෙ මොනවද
3. ඉදිරියට ජීවත් වීමට කුමක් කළ යුතුද
ඉන්නෙ කොහේ දැයි සිතූ විට සරලම පිලිතුර " නකුට අකුලාගෙන- ඕන පදයක් ඇසීමට සූදානම්ව" දෙමව්පියන්ගේ නිවසට යා හැක. නමුත් නිවසින් පිට වන මොහොතේ "මගේ පියාට වඩා ආර්ථිකවත්, මවට වඩා පෞරුශයෙනුත් ඉදිරියට ගිය ගැහැනියක ලෙස මිස මේ නිවසට පැමිනෙන්නේ නැත" යන අදිශ්ඨානය මා තුල විය. ගෙදර ගියේ නම් මේ දෙකම මට නැති වී යන අතර මා වැඩිහිටියෙක් උවත් දෙමව්පියන්ට මා වෙනුවෙන් මා කැමති හෝ අකමැති තීරණ ගැනීමට ඉඩ දීමට සිදු වනු ඇත. වැඩි සම්භාවිතාව ඇත්තේ අකමැති තීරණ වලට හිස නැමීමට සිදු වීමයි. මා නිවසින් පිට වන් මොහොත වන විටත් කිසිම කරුණක් සම්බන්ධව මටත් පියාටත් එකඟතාවයකට පැමිනීමේ හැකියාවක් නොවූ අතර මා යැපෙන්නා නිසා ඔහුගේ පදයට නටන්නට සිදුව තිබුනි. මේ නිසා දෙමව්පියන්ගේ නිවසට යාම පහසු පිලිතුර උනත් මම එය තෝරා නොගතිමි.
ලාබයටම ජීවත් වීමට මා දන්නා ඊ ලඟ තැන වූයේ කැම්පස් එක අවට ඇති බෝඩින් කාමරයි. මේ බෝඩින් කාමර තරු පන්තියේ හෝටලයක සුයිට් රූම් වැනි යයි කවුරුන් හෝ හිතනවා නම් ඔවුන්ට හොඳටම වැරදී ඇත. එවැනි නවාතැන්ද කැම්පස් අවට ඇත. බහුතරයක් සිසු සිසුවියන්ට ඒවායේ නවාතැන් ගැනීමට වත්කමක් නැත.එනිසාම කැමත්තෙන් හෝ අකමැත්තෙන් සිදු වන්නේ වැඩි පහසුකම් කෙසේ වෙතත් "බැල්මට්" ලාගෙන්, "යට ඇඳුම් සොරුන්ගෙන්" කිසි අඩු පාඩුවක් නැති කුඩා කාමරයක සිව් දෙනෙක් හෝ අට දෙනෙක් ගාල් කළ නවාතැනක සිර වීමටයි. කාමර තුලද, නාන කාමර තුලද රෙදි වැල් ගැට ගසා ගත් විට, කාමරයේ කොනක භූමිතෙල් ලිපක් තබා උයා ගත් විට "සතුන් මෙන් සිටින්නේ" යැයි බෝඩින් හිමියන් කඩා පනිති. නිදහසේ හුස්මක් ගැනීමට හැකි කැම්පස් එක තුල හැකි උපරිම වේලාවක් ගත කර හැකිතාක් ප්‍රමාදව බෝඩිමට පැමිනෙන විට එම සිසුවියන් වයිශ්‍යාවන් ලෙස ලේබල් කරති. නිසි ප්‍රමිතිකරණයක් නැති කාමර වල සතුන්ටවත් නොසැලකිය යුතු වර්ගයේ නවා තැන් තමන් සපයා ඇති බව පිලි නොගනිති. කෙසේ නමුත් කැම්පස් එක අවට වසර 4ක් පුරා නවාතැන් ගනනාවක ජීවත් වීමෙන් ලද පන්නරයෙන් මේ වන විට යා යුතු තැන මා දැන සිටියෙමි.
වසර 4න් තුනක්ම සත්ව ගාල් වල ජීවත්ව හෙම්බත් වී සිටි අපි කිහිප දෙනෙක් එක්ව අවසන් වසරේදී නිවසක අඩක් වූ ඇනෙක්සියක් කුලියට ගතිමු. ජීවත් වූ අනෙක් තැන් වලට සාපේක්ශව එය පහසු නවා තැනකි. මා චිත්‍රපටය අවසන් කර නන්නත්තාර වන මොහොත වන විටද එම නවාතැනෙහි මා මිතුරියන් කිහිප දෙනෙකු සිටියහ. මුදල් දියව යාමට පෙර අතේ තිබූ සොච්චමෙන් මගේ කොටස ගෙවා වහ වහා එම නවාතැනේ පදිංචියට ගියෙමි. මාසයක් සඳහා නවාට්ගැන් ගැටලුව එසේ විසඳුනත් අනෙකුත් ප්‍රශ්න එලෙසම විය.
2010 වසර ෆේස්බුක් කප්පිත්තෙක් වීමට තබා මටම කියා ස්මාට් දුරකතනයක්වත් නොතිබිනි. බෝඩිමේ තප්පලං ගසා සිටීමෙන් කිසි ගැටලුවක් විසඳෙන්නේ නැති නිසා දිනපතා කැම්පස් ගොස් පත්තරයේ රැකියා ඇබෑර්තු බැලීමත්, ලැබ් එකට රිංගා ටොප් ජොබ්ස් බැලීමත් මුල් දින තුනේ දයිනික රාජකාරි වූ අතර ඉතා සාධාරන ලෙස උපාධි සහතිකයට අදාල රැකියාවක් ලැබීමට සියලු ආයතන එම තනතුරෙහි වසර 5-6 ක රැකියා පලපුරුද්දක් ඉල්ලා තිබූ අතර මට එම සුදුසුකම නොවීය. රෝමය දවසින් ගොඩ නොනැගූ බව සිහි කළ මා ඇඳුම් වෙලඳසැලක අලෙවිකරන්නියක වශයෙන් අයදුම් කලේ උපාධිධාරීනියක් බව සඳහන් නොකරමිනි. උපාධියට ගැලපෙන රැකියාවක් ලද වහා රැකියාව හැර යන බව විස්වාස කළ ආයතන හිමියන් මීට පෙර මාගේ අයදුම් පත් ප්‍රතික්ශේප කර තිබූ අතර මේ වන විට මා සිටියේ රැකියාවක් නොමැතිව සිටිය හැකි තත්වයක නොවේ.
අතේ ඇති අන්තිම පොඩ්ඩෙක් ජීවිතය ගැට ගසා ගනිමින් සිටි මට රැකියාවක් ලැබෙන තුරු ජීවිතයම ගැටලුවක් විය. රැකියාවක් ලැබුනත් වැටුප් ලැබෙන තෙක් ගමනාගමනයට මුදල් අවශ්‍ය වේ. බස් හිමියා අපට අනුකම්පා කර නොමිලයේ ගෙනියන්නේ නැත. සැබැවින්ම මුදල් නැති කම මගේ ගැටලුවක් මිස ඔවුන්ගේ ගැටලුවක් නොවේ. අනිත් අතට වතුරෙන් බඩ පුරවාගෙන සිටිය හැකි කාල සීමාවක් තිබේ. නොකා නොබී හිඳ ලෙඩ උනහොත් ඒ වියදමත් දැරිය යුතුය. කැම්පස් කැන්ටිමේ බත් පිඟාන රුපියල් 13 ක් පමණක් වුවත් එය මිලට ගෙන තුන් වේල කෑමටවත් මා සතුව මුදල් නොතිබුනි. මුල් දින තුන දිනකට වේල් දෙකක් ලෙස කුස පුරවාගත් මම සිව් වන දින සිට විශ්ව විද්‍යාලයේ මට ඉගැන්වූ ජපන් මැඩම් මාර්ගයෙන් කුඩා අමතර රැකියාවක් සොයා ගතිමි. මාස 3ක කාලයකට සහ දිනකට පැය දෙකක් පමණක් කළ යුතු වූ මගේ නව රැකියාව වූයේ ලංකාවේ කෙටි කාලීනව පදිංචිව සිටි විදේශීය ආචාර්‍ය වරයෙකු වෙනුවෙන් එළවලු කපා දීමයි. ඒ සඳහා මට දිනකට රුපියල් 350ක ගෙවීමක් ලැබුනි. සතියක් පමණ එලවලු කපා දුන් මා ඔහුගෙන් නොඅසාම සුලු කෑම වේලක්ද පිලියෙල කර දුනිමි. එලවලු සලාදයකින් ආරම්භ කළ කෑම පිසීම ලසාන්‍යා, ක්ලබ් සැන්ඩ්විච්, බර්ගර් ඇතුලු විවිධ කෑම වලට පුලුල් කළ අතර සියලු කෑම වේල් සැකසීම මටම භාර කළ ඔහු සති දෙකක් යන විට මගේ ඉල්ලීමක් රහිතවම වේතනය 750 කට වැඩි කළ අතර ඉවීමෙන් මට අමතර වාසිද සැපයිනි. මගේ උදේ දවල් වේල්ද පිරිමැසුනු අතර ඔහු සමග කතා බහ කිරීම නිසාම මෙතෙක් පොතට සීමා වූ සහ මට මහත් අඩුවක් වූ චතුර ලෙස ඉංග්‍රීසි භාශාව හැසිරවීමේ හැකියාව දියුණු විය. දුටුගැමුණු රජු යුද්ධ කළාඅ මෙන් කිසි පිලිවෙලක් නොමැතිව කළ වැඩ සරලව to do list එකක් සකසා ක්‍රමානුකූලව නිම කිරීම, time table එකක් සකසා කාලය කලමනාකරණය කිරීම, ජීවිතයට master plan එකක් සකස් කර ගැනීමට- ව්‍යාපාර කළමනාකරණ විශේශවේදියෙකු වූ ඔහු මට කියා දුන්නේය. " ජීවිතයේ අපට ලැබෙනුයේ අප ලබා ගැනීමට බලාපොරොත්තු වන ප්‍රමාණය පමණක් බව" නිතර මට සිහි කළ ඔහු එනිසා "නිතරම උසස් සහ ධනාත්මක අරමුණු ඇති කර ගත යුතු බවත් එම අරමුණු සාක්ශාත් කර ගැනීමට නොපසුබටව උත්සාහ කළ යුතු බව" නිරන්තරයෙන් මතක් කර දුන්නේය.
මේ අතරම මා අයදුම් කළ වෙලඳ සේවිකා තනතුර මට ලැබුනු අතර මගේ සේවා මුරය සවස 2 සිට රාත්‍රී 11 වන තෙක් වූයෙන් ඉවීමේ රැකියාව කිරීමට බාධාවක් නොවුනි. මේ වන විට සුහද මිතුරෙකු වූ විදේශිකයා මා උයන තෙක් කුස්සියට වී යමක් කතා කිරීමට හුරුව සිටියේය. වසර 24දී මා නිවසින් පිටමන්ව ආ බව ඇසූ ඔහු එතරම් නාකි වන තුරු යැපෙන්නෙකු වීම ආඩම්බර-සාඩම්බර විය යුතු කරුණක් නොවන බව කී විට මට මා ගැනම ලැජ්ජා සිතුනි. ලංකාවේ බොහෝ නිවාස වල කසාදයෙන් පසුද ඇතැම් දෙමව්පියන් දරුවන්ගේ ජීවිත පාලනය කරන බව මම නොකියා සිටියෙමි.
ඔහුගේ කෑම පිසීම උදේ 9-11 රාජකාරියක් වූ අතර සතියේ දින දෙකක් උදේ 6 සිට 8 තෙක් fashion design සිසුවියක් සඳහා pattern making ඉගැන්වීමට මට අවස්තාව ලැබුනි. මේ සඳහා පැයකට 1500 බැගින් මා අය කළ අතර සතියකට ඉන් මට රුපියල් 6000 ක අමතර ආදායමක් ලැබුනි. වෙලඳ සේවිකාවක් ලෙස රුපියල් 25,000 ක් ද ඉපයූ අතර අතේ සතේ නැතිව ජීවිතය ආරම්භ කළ මා මසක් ඇවෑමෙන් මසකට 75,000 කට ආසන්න මුදලක් උපයමින් සිටියෙමි. විදේශිකයා මාස දෙකකින් රට හැර යන බැවින් උයා ලැබෙන 15,000 ස්තිර මුදලක් නොවුනි. එම මුදල නොමැතිව මේ වන විට අඩු තරමේ මම මසකට රුපියල් 50,000 ක් උපයමින් සිටියෙමි. බෝඩිම අත හැර කුඩා කුලී නිවසක් සොයා ගත යුතුය යන අදහස සිතට ආවේ වෙලාවට පන්තියට යාමට සහ රැකියා වලට යාමට බස් රතයෙන් ගොස් කළ නොහැකි නිසා ත්‍රී රෝද රථ වෙනුවෙන් විශාල මුදලක්ද, මගට විශාල කාලයක්ද ගත වූ බැවිනි. උයන අතරතුර විදේශිකයාටද මේ බව පැවසුවේ ඔහු මා වෙනුවෙන් සතුටු වන බව සිතූ බැවිනි. ඔහුගේ මහල් නිවසට මා කැමතිදැයි ඇසූ විට එය විහිලුවක් සේ සැලකූ මම මගේ මුලු ආදායමවත් කුලී ගෙවීමට ප්‍රමාණවත් නැති බව ඔහුට කියුවේ සත්‍ය තත්වයද එයම වූ බැවිනි. තව මාස 2කින් ඔහු රටින් යන බව නැවත මට පැවසූ ඔහු ඊලඟට පැවසූ දෙය විහිලුවක් නොවන බව තේරුම් ගැනීමට මට මද වෙලාවක් ගත විය. මාස 2කින් ඔහු යන්නටම යන්න ගියත් ඔහුගේ පුද්ගලික වියදමින් එම අපාර්ට්මන්ට් එකට තව මාස තුනක් ඉදිරියට ගෙවා ඇති බවත් ඔහු ගිය පසු එම මාස 3 මට එහි ගත කළ හැකි බවත් කියූ ඔහු ශීතකරණය, ඇඳ, විශාල රූපවාහිනිය මට තෑගි කිරීමටද කැමති බව පැවසීය. මම ඉතා සතුටු වූ අතර බොරුවට එපා නොකීවෙමි. දෙවියන් වහන්සේගෙන් තෑගි ගැනීමට ගොස් " මම මේ නිකං ආවා" කියූ සිංහලයාත් "එහෙනම් උඹ නිකම්ම පලයන්" කියූ දෙවියන් වහන්සේ ගැනත් රොබට් නොක්ස් එදා හෙළ දිවෙහි තැබූ සටහන වහා සිහි කළ මා නොපමාව ඔහුට කෘතඥ වීමි. ඔහුගේ යෝජනාව නොපිලිගැනීමට මට හේතු නොවුනි. නමුත් මාසික නඩත්තු මුදල වූ 10,000 මාගෙවිය යුතු වූ අතර එය නයගැති හැඟීමෙන් මා මිදවූයේය. එම මුදල මා නිවසක් කුලියට ගැනීමට අපේක්ශා කළ මුදල වූ අතර මම සතුටට පත්ව සිටියෙමි.
විදේශිකයා සිය රටට ඉගිලී ගිය පසු මාස 3ක් සඳහා මම ඔහුගේ නිවසේ පදිංචි වීමි. තනිව සිටින විට උයා කෑම කම්මැලි අතර කඩයෙන් කෑම මට පහසු විය. මෙසේ ලියන විට ලේසි වැඩක් ලෙස පෙනුනත වෙල්ඳ සේවිකා රැකියාව පහසු නැත. මුලු සේවා කාලය පුරා සිටගෙන සිටිය යුතු අතර ඇඳුම් සාප්පුවක් වූ එහි ඇඳුම් අයන් කිරීම, රැක් ගත කිරීම, ගබඩා කිරීම, සුහදශීලීව පාරිභෝකයින් පිලි ගැනීම , බිම පිරිසිඳු කිරීම ඇතුලුව එකී මෙකී රාජකාරි රැසක් කිරීමට වෙළඳ සේවිකාවකට සිදු වේ. රෙදි නැවීමේ සිට කිසිවෙකු සමග කේන්‍ති නොගැනීමට මම එහිදී ඉගන ගතිමි.
වැඩ මුරය නිම වී නිවසට එන විට කකුල් අත පය ඇදුම් කන්නේ, කොඳු ඇට පෙල වේදනා දෙන්නේ හෙට නම් යන්නෙ නෑ සිතිවිල්ල තීව්‍ර කරමිනි. නමුත් හෙට වූ විට පාලු නිවසේ සිටීමට වඩා වැඩට යාම හොඳ බව සිතේ. ඇරත් ගෙදර සිටියාට මුදල් දෙන කෙනෙක් නැත. මේ සියල්ල අතරේ මගේ සිසුවියගේ පාඩම්ද ලැහැස්ති කළ යුතු වූ අතර වැඩි වියදමක් නොමැතිව ජීවිතය ගලා ගියේය. සුව පහසු නිවහන මාස 3ක් සඳහා පමණක් බව නිතර සිහි කළ මා මාස 3කින් පසු නවාතැනක් ගැනීමට අත්තිකාරම් මුදලක් අවශ්‍ය බව නිරන්තරයෙන් සිහි කලෙමි. සෑම මසකම ඒ වෙනුවෙන් රුපියල් 30,000 ක් එක් කල අතර මගේ ලොකුම දුර්වලතාවයක් වන මුදල් බැංකු ගත කිරීමක් නොකලෙමි. රුපියල් 60,000 ක් එක් වූ විට එවකට 58,000 ක් වූ රන් පවුමක් මිලට ගතිමි. මිතුරාගේ නවා තැනෙහි සිටීමට ඉඩ ඇත්තේ තව එක් මසක් පමණක් බැවින් අලුත් නවාතැන් සෙවීමේ මෙහෙයුම ආරම්භ විය.
ලංකාවේ තනි ගැහැනියකට ජීවිතය ඉතා අපහසුය. අඩු තරමේ මුදල් ගෙවා නිවසක් ගැනීමටවත් ලේසි නැත. ඔවුන් ඇඟලුම් කර්මාන්තයේ හෝ චිත්‍ර්පට කර්මාන්තයට සම්බන්ධ නම් එය තවත් අපහසුය. මේ නුසුදුසු කම් දෙකම මා සතු විය. නිවාස බොහෝ ගනනක් බලා අවසානයේ කුඩා ඇනෙක්සියක් රාජගිරියෙන් සොයා ගතිමි. මසක කුලිය 15,000 ක් වූ එයට මාස 3ක අත්තිකාරම් දිය යුතු වූ අතර අවසාන මස ඉතුරු කළ 30,000 ට රන් පවුම බැංකුවේ උගස් කර ලබා ගත් 15,000 ක උකස් අත්තිකාරම් මුදල එක් කර අවශ්‍යතාවය පිරිමසා ගතිමි. එයින් මගේ මුදල් අවශ්‍යතාව සපිරුණු අතර මගේ රන් පවුමද සුරක්ශිත විය.
කඩෙන් කෑමේදී මා මුහුණ පෑ ප්‍රධාන දුශ්කරතාව නම් බත් පාර්සලයක නම් කරි ප්‍රමාණය මදි අතර බත් අපතේ යාමයි. මෙනිසා නව නවාතැනට කුඩා ගෑස් ලිපක් මිලට ගත් අතර ප්‍රිය මිතුරියක් සිලින්ඩරය තෑගි කලාය. හට්ටි වලන් දෙක තුනක් මිලට ගත් විට කුස්සිය සම්පූර්ණ වූ අතර කෑම අපතේ යැවීම පාපයක් ලෙස සිතීමට තරම් මා කුසගින්නේ ඉඳ ඇත. අදද විසි කර ඇති ආහාර දුටු විට කෑමට මුදල් නැතුව කැන්ටිම දෙස නොබලා ඇවිද ගිය මගේම දුක්බර චායාව මට මැවී පෙනේ. අප නිවසේ ප්‍රධාන නීතිය "කෑම අපතේ යැවීම තහනම්" වේ. නොකනවා නම් කලින් ඒ බව දැන්විය යුතු අතර සෑම සතියක ඉරිදාට මම ඉදිරි සතියේ ආහාර සැලැස්ම සැමියාට දෙමි. එය බලා නොකන දවස් සහ වේල් මට දැන්විය යුතු අතර කැමැත්ත හා හැකියාව පරිදි අවශ්‍ය නම් සැකැස්මේ වෙනස්කම් කර ගත හැක. ඒ අනුව ඉරිදා දින මගේ ශොපින් දින වන අතර කිසිවක් අපතේ නොයන ලෙස මම භාණ්ඩ මිලට ගනිමි. ඉතුරු ද්‍රව්‍ය ඇති නම් සෙනසුරාදා රාත්‍රියේ කුස්සියේ ඉන්වෙන්ට්‍රිය බලන මා ඒ අනුව ඉදිරි සතිය සැලසුම් කරමි. මෙයින් මා ලබන මුදල් ඉතිරිය සහ සතුට අකුරු කළ නොහැකි කාණ්ඩයට අයත් වේ.
නව නවාතැනට පැමිණි පසු ජීවිතයේ සිදු වූ තවත් වෙනස්කම් කිහිපයකි. මා වැඩ කළ චිත්‍රපටය දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ අතර බොහෝ සිනමා උලෙලවල් වල හොඳම ඇඳුම් නිර්මාණ සඳහා නිර්දේශ වූ අතර කිහිපයක එම අංශයේ සම්මානයටද පාත්‍ර විය. මේ නිසාම රාජ්‍ය ආයත්නයක බාහිර කතිකාචාර්යවරියක ලෙස සේවයට ආරාධනා ලැබුණු අතර රූපවාහිනී වෙලඳදැන්වීම් කරණයේ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක ලෙස freelance සේවය සැපයීමට අවස්තාව සැලසුනි. මගේ සිසුවිය පිට රට යාමට සූදානමින් සිටි නිසා පන්තියද අවසන් අදියරේ තිබූ අතර වඩා හොඳ ආදායමක් අවශ්‍යව තිබූ මොහොතක ඉහත ආරාධනා පිලි ගැනීමට මට දෙවරක් සිතිය යුතු වූයේ නැත. ඉතා වෙහෙසකර වුවද මා ආසා කළ වෙළඳ සේවිකා රැකියාවට සමු දුන් මා රූපවාහිනී වෙළඳ දැන්වීම් ක්ශේත්‍රයට පය තැබුවෙමි. මෙහිදී කිව යුතුම දෙයක් ඇත. එළවලු කපන්නියක, කෑම පිසින්නියක, වෙළඳ සේවිකාවක, කතිකාචාර්යවරියක ලෙස මෙන්ම වෙළඳ දැන්වීම් ක්ශේත්‍රය තුලද සාර්ථක වීමට
1. තමන් කරන කුමන දෙය හෝ ආසාවෙන් සහ ඊට වටිනාකමක් දෙමින් කිරීම
2. පාරිභෝගිකයා අපේක්ශිත ප්‍රමාණයටත් වඩා ඔවුන් delight වන් ලෙස කිරීම
3. කිසි විටෙකත් වැඩ ගැන මැසිවිලි නොකීම
4. ඉංග්‍රීසි භාශා නිපුනත්වය ඇති කර ගැනීම
යන කාරණා ප්‍රභලව බලපෑවේය.
නව රැකියාවේ වෙනස ආර්තිකව මා තව ශක්තිමත් කළ අතර මුදල් ලැබෙන ලැබෙන පරිදි මම රන් පවුම් මිලට ගතිමි. නිවසට නොගියත් මා දෙමව්පියන් සමග කතා බහ කළ අතර අම්මාද සම්බන්ධව සිටි සීට්ටුවකට මමද සම්බන්ධ වුනෙමි. මගේ වාරය ආ විට ලැබුනු මුදලින් මෙතෙක් අඩුවක්ව තිබූ industrial මහන මැශිමක්ද, නූල් 5 ඕවලොක් මැශිමක්ද මිලට ගතිමි. රැකියා ස්වභාවය අනුව නිතර ශොපින් යෑම මගේ රාජකාරියක් වූ අතර කොටුවේ ගිය විට් බෙඩ් ශීට් රෙදි මිලට ගතිමි. රාජකාරි නොමැති දින වල එම රෙදි අපතේ නොයන පරිදි කපා බෙඩ් ශීට් සහ කොට්ටා උර කට්ටල සකස් කලෙමි. මගේ මවගේ සාප්පුවේද, මිතුරියන්ටද ඒවා අලෙවි කිරීමෙන් එක් කට්ටලයකින් මා ලද ලාභය රුපියල් 200කි. ඉඳ හිට මිතුරියකට අවශ්‍ය මංගල ඇඳුමක් හෝ උත්සව ඇඳුමක් මසා දීමෙන්ද ආදායමක් ලදිමි. මේ සියලු අමතර ආදායම් රජයේ බැංකුවක් අනුබද්ධිත පුද්ගලික මූල්‍ය ආයතනයක මාසිකව කල් පිරෙන පරිදි ස්තිර තැන්පතුවක ආයෝජනය කලෙමි. පුද්ගලික ආයතනයක ආයෝජනය අවධානම් සහගතය. නමුත් මම ජීවිත කාලය පුරා අවධානම් ගෙන ඇත. පුද්ගලික ආයතන වල පොලිය වැඩි වීම, රස්තියාදුව අඩු වීම සහ එම ආයතනය සපයන ලීසිං පහසුකම මගින් කවදා හෝ වාහනයක් මිලට ගැනීමට අදහස් කර තිබීම එම ආයෝජනයට හේතු විය. මාස පතා කල් පිරෙන ලෙස fd දැමූ විට හදිස්සියේ අපිට මුදල් ගැනීමට අවශ්‍ය නම් සුලු හෝ පොලියක් ලැබේ. තවද පෙර ඉපයූ පොලියටද පොලියක් සැකසෙන අතර මාස්පතා ලැබෙන අමතර මුදල් මුල් මුදලට එක් කරමින් තැන්පතුව අලුත් කළ හැක.
වෙළඳ දැන්වීම් ක්ශේත්‍රය මා ඉතා සිත් ගත් රැකියාවකි. තිර ගත කිරීම පටන් ගන්නා තෙක් හිස ගිනි ගත්තාක් මෙන් දැවි දැවී සිටින කණ්ඩායම පලමු රූප රාමුව තිර ගත කල පසු නිවී යති. ලංකාව පුරාද- ඇතැම් විට වෙන රට වලද දර්ශන් තිර ගත කිරීමට සිදු වේ. ඉරාගෙන තිරගත කරන රූප රාමු බොහෝමයක් අවසාන නිශ්පාදනය තුල නැත්තේ අපි අපිටම සිනා සෙමිනි. තත්පර 30 ක් වෙනුවෙන් අපි දවස් 3ක්වත් නිදි මරමු. දර්ශන තලය තුලදී විවිධාකාර මිනිසුන් මුණ ගැසේ. මට මිනිසුන් යනු අත් දැකීම භාණ්ඩාගාර වේ. පරිණත රංගන ශිල්පීන්ද, නවක නලු නිලියන් සහ නිරූපන ශිල්පීන්ද, වේශ නිරූපන ශිල්පීන්, කේශාලංකරණ ශිල්පීන්, චිත්‍රපටි සහ කැමරා අධ්‍යක්ෂක වරුන්, සහය නිලධාරීන්, ආලෝකකරණ ශිල්පීන්, භාණ්ඩ ප්‍රවර්ධන නිලධාරීන්, ඒජන්සි එකී මෙකී නොකී බොහෝ මිනිසුන් එකම තලයක හමුවන, එකම තලයක අදහස් හුවමාරු කරන, එකම තලයක් විවිධ අයුරින් ලෝකය දකින සම්පත් ගුලාවක් ලෙස මම ක්ශේත්‍රය දකිමි.කොටින්ම ඇක්ශන්- කට් ඇතුලේ ජීවිතය හැදෑරීමට සහ විඳීමට මම උගත්තෙමි.
බොහෝ වෙහෙසී මුදල් ඉපයූවේ, ස්වයං අධ්‍යයන මෙන්ම වරින් වර හැදෑරූ කෙටි කාලීන පාඨමාලවන් හරහා මට අරමුණක් විය.මගේම තාලයේ ඩිසයින් ඇකඩමියක් මගේ සිහිනය විය. මගෙන් ඉගෙනගෙන ජීවිතය දිනන සිසුන් දැකීමට මට අවශ්‍ය විය. එම ආයෝජනයට අවශ්‍ය මුදල් එක් කළ පසු මම වඩා විශාල සහ සැප පහසු නවාතැනක් කුලියට ගතිමි. ප්‍රයිවට් ලිමිටඩ් ආයත්නයක් ලෙසත්, ජාතික ව්‍ර්තීය පුහුනු අධිකාරියේ ලියාපදිංචි ආයතනයක් ලෙසත් මගේ ඇකඩමිය ස්තාපිත කලෙමි. අද මටමද සිතා ගත් නොහැකි ජවයක් යොදා මම අධ්‍යාපන ආයතනය ආරම්භ කලෙමි. අද වන විට මේ ව්‍යාපාරය මා නොකරන නිසා පමණක් ඒ පිලිබඳ සටහන් කරන්නෙමි. මෙම චේදය වෙලඳ දැන්වීමක් නොවේ. මා හඳුන්වා දුන් පාඨමාලාව සාර්තකද යන පැනයට ඔව් හා නැත යන පිලිතුරු දෙකම දිය හැක. අර්ධකාලීන පාඨමාලාවට සහභාගී වූ සිසු සිසුවියන්ගේ අරමුණු විවිධාකාර විය. සමහරුන් සහතිකයක් ලබා ගැනිමට පැමින තිබූ අතර සමහරුන් ගෙදර වැඩ කිසිවක් නොකලහ. සමහර අය ගෙදර වැඩද සොයා ගත් බාහිර ක්‍රියාකාරකම්ද කලහ. විශ්ව විද්‍යාලයේ අප වෙහෙසුණු තරම් කැප වූ ශිශ්‍යයින් 1% ක් පමණද මුන ගැසී ඇත. වැඩිහිටියන් සඳහා වූ ප්‍රායෝගික පාඨමාලාවක් වූ මෙහි තම තමන් වෙහෙසුනු පමනින් තම තමන් පල නෙලා ගත්හ. මුදල් ගෙවා කිසිවක් ඉගෙන නොගත් සිසුන්ද ගෙවූ මුදල් කෙසේ වෙතත් ඉතා හොඳින් ඉගෙනගත් සිසුන්ද, බාගෙට ඉගෙනගෙන ඉගෙනගත් ටිකෙන් වැඩ ගන්නා සිසුන්ද, සම්පූර්ණ පාඨමාලාවම නිම කර කිසිම ප්‍රයෝජනයක් නොගන්නා සිසුන්ද මගේ ඉතිහාසයේ ඇත. ගුරුවරියකට එහා ගිය මිතුරියක මෙන් ඔවුන් සමග සන්නිවේදන කිරීමට උත්සාහ කිරීම මගේ අඩුපාඩුවක්දැයි සිතෙන්නේ වරක්- දෙවරක් පමණක් නොවේ.
මූල්‍ය ජීවිතය මෙසේ ජයෙන් ජයට ගලා යන අතරතුර පුද්ගලික ජීවිතය බහින කලාවේ පැවතුනි. පෙම්වතුන් පැමිණියහ. ගියහ. මා විවාහ වීමට කැමති පෙම්වතුන්ට මා අවශ්‍ය නොවූ අතර, මා අවශ්‍ය මිනිසුන් මට අවශ්‍ය නොවුනි. සමස්තයක් ලෙස මට සිටි ශ්‍රී ලාංකික පෙම්වතුන් විවිධ අච්චු වල කැපූ එකම අමුද්‍රව්‍යයෙන් සැකසූ එකම තාලයේ මිනිසුන් වූහ. කතාවේදී outstanding , out going, out of the box මිනිසුන් තම සහකාරිය එසේ වනවාට අකමැති වූහ. ඉර පෙන්නා ඒ සඳ කියූ විට එය තරුවක් බව කියන ගැහැනියකට ඔවුහු අකමැති වූහ. තරුවක්- තරුවක් ලෙස පිලි ගත නොහැකි මිනිසුන් සමග දීග යාමට මටද අවශ්‍ය නොවුනි. මම සල්ලිකාරයෙකු සමග විවාහ වීමට බලාපොරොත්තු නොවීමි. නමුත් මට දියුනු වන, මා සමගම දියුනුවට යන, මා අගයන මිනිසෙකු අවශ්‍ය විය.
අවසානයේ මිතුරියකගේ හඳුන්වා දීමෙන් මා සෙවූ සහකරුද මට ලැබුනි. අප හඳුනා ගන්නා විට මා ඔහු මෙන් දස ගුණයක් උපයමින් සිටියෙමි. එමෙන්ම මාද වෙහෙසට පත් වන බව, මා සිහින දුටු අනාගත් දරුවන් වෙනුවෙන් මගේ ඉපයීම් සීමා වන බවද දැන සිටියෙමි. සියල්ලටම වඩා නැග සිටි පඩිපෙලෙන් බැසීම අපහසු වන බව දැන සිටියෙමි. මා විවාහ වීමට සහ මා සමග විවාහ වීමට බලාපොරොත්තු වූ මිනිසා මා තදින් පෙම් කළ පුද්ගලයා නොවේ. නමුත් ජීවිතයේ නැවත වරක් තෝරා ගැනීමට අවස්තාව ඇත්නම් මා තෝරා ගන්නේ ඔහුවම පමණි. ඔහු හොඳ සවන් දෙන්නෙකි. එමෙන් මා අගයයි. අප දෙදෙනා විවාහ වීමට තීරනය කළ පසු අපි අපගේ මාස්ටර් ප්ලෑන් එක ඇන්දෙමු. කුලී ගෙවා හෙම්බත්ව සිටි මට නිවසක් අවශ්‍ය විය. Apartment එකකට වඩා කැමති උනත් ණය වී මිස එවැන්නක් ගත් හැකි තත්වයක් අපිට නොවුනි. එනිසා වසර 5ක් පුරා මා මිලට ගෙන තිබූ රන් පවුම් 100ක ප්‍රමාණය විකුනා එම මුදලින් නිවසක් මිලට ගෙන අලුත් වැඩියා කලෙමු. පෙර සැලසුම් කළ පරිදිම මූල්‍යායතනයේ දීර්ඝ කාලීන ගනුදෙනු කරුවෙකු වූ මට 50% ක අඩු පොලී ලීසිං පහ්සුකමක් ගෙන වාහනයක් ගැනීම ගැටලු සහගත නොවුනි. අපගේ විවාහ උත්සවයද රුපියල් ලක්ශ 3කින් නිම කිරීමට සැලසුම් කළ අතර එපරිද්දෙන්ම කලෙමි. ලාභ අපේක්ශිතව කල උත්සවයක් නොවුනත් ලක්ශ 20ක මුදල් ත්‍යාග ලදිමු. එම මුදල් අනාගත අපේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ආයෝජන ගිනුමක තැන්පත් කලේ මගේ දැඩි තීරණයක් ලෙසිනි. මම පොත් කියවන්නියක්මි. සුරංගනා කතාවක් උනත් කියවා හොඳ යැයි හැඟෙන කොටස් මගේ ජීවිතයට අදාල කර ගැනීමට මා පැකිලෙන්නේ නැත. තිලිණය ලෙස සිංහලට පරිවර්තනය කර ඇති the gift කෘතියෙහි විටේකර් යුවල තම දරුවන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන් හැදීමට තීරණය කළ මොහොතේ සිටම මුදල් වෙන් කර තිබීම මා සිත තදින් කා වැදුනු සිදු වීමකි. මගේ දරුවන්ටද එසේ වනු දැකීම මට අවශ්‍ය විය.එනිසා අපි එලෙස කලෙමු.
මිලට ගත් නිවස වසරකට පසු විකුනා මා කැමති පරිදිම apartment එකක් මිලට ගතිමු. ක්‍රමිකව වාහනයටද ගෙවා දැමූ පසු අප ණය නැත. මා සැබැවින්ම ණයට බිය පුද්ගලයෙක්මි. ණය වූ විට මුලදී ලොතරයි දිනුමක් ඇදුනා සේ දැනෙන අතර මාස කිහිපයක් ගෙවාගෙන යාමේදී අපව සූරා කෑමට ලක්ව ඇති බවක් හැඟේ. නමුත් සැබෑ තත්වය ගත් විට ලබා ගත් ණය මුදලට ඇත්තේ ස්තාවර පොලී අනුපාතිකයක් නම් රුපියලේ අගය අවප්‍රමාණය වීමේ සීග්‍රතාවයට සාපේක්ශව පොලී ගෙවීම ලාභ වේ. Apartment එක මිලට ගැනීමේදීත් ලාභය උපරිම කර ගැනීමට අප පහත පියවර අනුගමනය කලෙමු. නිවාස ඉදිකිරීමේ සමාගම් වලින් මිලට ගැනීමේදී මුලු මුදල එක වර ගෙවීමට අනවශ්‍ය අවස්තා ඇත. එනම් මුලු මුදලෙන් 30% ක් එක වර ගෙවා ඉතිරිය පොලී රහිත වාරික වශයෙන් වසර 2 ක් තුල ගෙවිය හැක. නිවස විකුනා ගත් මුදලින් උක්ත 30% එක වර ගෙවා ඉතිරිය උපරිම ලාභ ලැබෙන ලෙස වසර , මාස 6-3-1 වශයෙන් ස්තාවර තැන්පතුවක ආයෝජනය කලෙමි. ඒවා කල් පිරෙන පිරෙන පරිදි නැවතත් කෙටි කාලීනව ආයෝජන ගිනුම් වල තැන්පත් කලෙමි. මෙයින් අපට යම් ලාභයක් ඉපයීමට හැකි විය.
දෙදරු මවක් ලෙස මා පෙම් කළ රැකියාව කිරීමට මට දැනට අවස්තාව නැත. නමුත් දැනටත් මා කියන මිලකට සේවය මිලට ගැනීමට ආයතන සූදානම්ව සිටීම මා සිත ප්‍රමුදිත කරයි. මගේ විනෝදාංශය ගෙත්තම් කිරීම වන අතර මීට පෙරද සඳහන් කර ඇති පරිදි එයින් විශාල ඉතුරුවක්ද තෘප්තියක්ද ලබමි.
ජීවිතයේ ඕනෑම දෙයක් අපහසු ලෙස දකිනා තෙක් අපිට ඒවාට ලඟා විය නොහැක. නමුත් උත්සාහය - අරමුණු වෙනුවෙන් කැප වීම ඇති තැන අපහසුතාවයන් පලා යයි.
මා සිටිනා බොහෝ සමූහයන්හි කාන්තාවන්ගේ පොදු ගැටලුවක් දැක ඇත. " නිවසේ සිට ආදායම් ඉපයීමට කළ හැකි දෙයක් කියන්න." මට අනුව නම් බාහිරින් සිටින අපි ඔබගේ දකශතා, කැමති අකමැති දේවල් සහ ඔබ සිටින වට පිටාව දන්නේ නැත. මා ගත් විට මම ජීවත් වන පරිසරයේ ( ලංකාවේමයි) පොල් ගා විකුනන( පෙර බැංකු කලමනාකාරිනියක්), සුප් සහ කැඳ විකුනන ( පෙර රාජ්‍ය සේවිකාවක් ), එලවලු කපා විකුනන, ඇඳුම් මසා ආදායම් ලබන දිරිය කතුන්- සිහින ලුහු බඳින්නන් මට ඇසුරු කිරීමට ලැබී ඇත. ගෙතීම- මැසීම- කතන්දර කීම උනත් සාර්තක ව්‍යාපාර වනුයේ කරන පුද්ගලයාගේ කැපවීම- වෙලඳපොල හඳුනාගැනීම මත වේ. ලංකාව රැකියා බහුල රටකි. කිරීමට මිනිසුන් නැති කම මිස රැකියා නැති කමක් නැත.
සිහින දකිමු. සිහින ලුහු බැඳ යමු. ඔබත් මමත් උපන්නාට හුස්ම ගන්නා මිනිසුන් නොව, ගන්නා හුස්මක් ගානේ තමන්ට -සමාජයට අර්තයක් එක් කරන දිරිය ගැහැනුන් වෙමු.එවිට ඔබගේත් විනෝදාංශය රැකියාව කර ගැනීමට සිහින ලුහු බැඳ යාමට හැකි වනු ඇත.
ස්තූතියි
නිලූකා බ්‍රැන්ඩන්.

පුටු සහ ළමයි

මේ දේ වුණේ හරියටම මාර්තු 2, අද.

ඉතින් එදා තාත්තගෙ යාලුවෙක්ගෙ ගෙදර   party එකක්. අපි 4 දෙනා ගියාට තාත්තා ගියපුම වෙලාවෙ එයාලගෙ party එකට වුණා. Party එකේ තියල තිබ්බෙ දම්රෝ පුටු. ඉතින් මේ පුටු තිබ්බෙ ආනත හැඩයක් ගත්ත තැනක.. ඒත් ලේසියෙන් ලිස්සන්නෙ නෑ එතන පොළොවට කොන්ක්‍රීට් දාල තිබ්බ නිසා.

අපි ඔතන වාඩි වෙලා ඉද්දි ඔය පුටු වල වාඩි වෙලා හිටියෙ වයස් 3ක  පොඩි ළමයි 3දෙනෙක්.  ඉතින් මේ තුන්දෙනා ඉස්සෙල්ලම පුටු රවුමට තියලා ඒ පුටු වලට පයින් ගහපු එක. ඕක සෙල්ලමක් කරගත්තෙ දෙවෙනියා. දෙවෙනියාව කරපු තුන්වෙනියත් ඕක සෙල්ලමක් කරන් පුටුවලට පයින් ගහන්න ගත්තා. මේ පුටු කොන්ක්‍රීට් පොළොවෙ විසික් වෙනවා. පොළොව දිගේ ඇදිලා යනවා. ළග හිටපු අයගෙ ඇගෙත් වැදෙනවා. ඒ වගේම නොකැඩුණත් පුටු හීරෙනවා. දාල තිබ්බ සින්දුවල සද්දෙත් එක්ක මෙයාලගෙ සද්දෙ වැඩිය ඇහුනෙ නැති වුණත් ඇස් තියෙන අවට හිටිය වැඩිහිටි කෙනෙක්වත් මෙයාලගෙ මේ වැඩ දැක්කෙ නැත්තෙ ඒ හැමෝමත් හිටියෙ එයාලගෙ කතා වල නිසා.

ඕක දිහා බලන් හිටපු මගේ ඇගේ ලේ රත් වෙන්න ගත්තෙ අර පොඩි එකත් දෙවෙනි කොල්ලගෙ වැඩ කරන්න පටන් ගත්තාහම වුනත් එතන හිටිය ගෑනු කෙනෙක් ඇවිත් පොඩිම එකාගෙ ඔලුව අතගාල ගිහාම මගෙ කටටත් පණ ආවා. එතන හිටපු පිරිමි කෙනෙක් පොඩ්ඩක් සැර කලත් එක අර ළමයි ගනන් ගත්තෙවත් නෑ.

පුටු වලට කකුලින් ගහලා ඇති වුනාම දෙවෙනියා පටන් ගත්තෙ පුටුවෙ ඉස්සරහ කකුල් දෙකෙන් ඉස්සරහට බර වෙලා වටෙන්න වගේ ගිහාම පුටුවෙන් පනින එක. එතකොට පුටුව එහෙම්මම පිටිපස්සෙන් ලිස්සලා බිමට වැටෙනවා. පොඩි එකත් ඕකම පටන් ගත්තා. පුටුවෙ හරියට වාඩි වුනාම කකුල් බිමවත් ගෑවෙන්නෙ නැති ඒ ළමයගෙ සමබරතාවය ගැන කියන්න ඕනෙ නෑනේ. එක පාරක් balance එක නැති වෙලා ගිහින් ළග හිටිය බල්ලෙක්ගෙ ඇගෙත් වැදුනා.(ඒක නම් වුනේ ගෙදර ගේට්ටු ඇරලා තිබ්බ නිසා පාරෙ ඉන්න බල්ලොත් party එකට ඇවිත් තිබුණ නිසා )

 මට ඇත්තටම කල්පනා වුණේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් හරි වැටිලා තුවාල කරගත්තොත් party එකේ තත්වය කොහොම වෙයිද කියලයි. ඉතින් මගෙ තරහ වැඩි වෙලා මන් බැන්නාම පොඩි ළමයි මොකක් හරි කරන කරන වෙලාවට ලොකුම ළමයා කළේ ice cream එකකුත් කකා මන් දිහා බල බල හිනාවෙන එක.  අනිත් කොල්ලො දෙන්නා මට පේන්නත් එක්කම වැඩියෙනුත් පුටු පද්දන්න ගත්තා. වැටිලා තුවාල වෙයන් කියලා හිතන ගමන්ම මන් අම්මටයි මල්ලිටයිත් ළමයි ගැන කිය කිය බැන්නා.. දෙන්නම මට තමයි බැන්නෙ. ඒ දෙන්නම කිව්වෙ වැටිලා තුවාල කරගත්තදෙන් ඔයාට වැඩක් නෑනෙ කියලා. ඉතින් මාත් කට වහගත්තා.

 දැන් ඊට පස්සෙ මේ කොල්ලො දෙන්නම කලේ කන්දෙන් පහලට දුවගෙන එන ගමන් පුටු තල්ලු කරන එක. අර පොඩි එකා නම් දෙතුන් පාරක්ම වැටුණා. Balance එක නැතුව ඉස්සරහට විසික් වුණා. අන්තිමට වයසක ආච්චි කෙනෙක්ගෙ ඇගෙත් වැදුණා. ඊට පස්සෙ නම් මොනා වුනාද දන්නෙ නෑ. මොකද අපි ගෙදර ආවා. හැබැයි එන ගමනුත් මන් කල්පනා කළේ පොඩි කාලෙ මයි මල්ලි ඔහොම කලානම් අනිවාර්යෙන්ම ගුටි කනව නේද කියලයි. පිට ගෙදරකදිත් විතරක් නෙමෙයි ගෙදරදිත්.

මොකද චූටි තුවාලයක් හරි වුනොත් අපි අඩද්දි එයාලටත් දුක හිතෙන නිසාත් වැරද්දක් වුනාට පස්සෙ දුක් වෙනවට වඩා වෙන්න කලින් නවත්තන එක හොද නිසාත් අපි වැරද්දක් කරද්දි පාරක් දෙකක් ගහලා අපිව හැදුවා. ඇත්තටම මාත් හිතුවා කවදා හරි මගෙ ළමයින්ව හදද්දි මගේ අවදානයෙන් තොරව ඉද්දි කාගෙන්වත් කතාවක් අහන්න බැරි වෙන්න ළමයින්ව හදන්නත්, අවදානයෙන් තොරව ඉන්න අවස්තා අඩු කරන්නත්.. ඉතින් එදා මන් මටම දීගත්ත පොරොන්දුව ඒකයි.