ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ (9)

පොඩි කාලේ  9

👶   👶   👶   👶   👶   👶   👶   👶  
කලින් කියූ පරිදි ආච්චීගේ වත්ත ගස් වලින් වැසී තිබිණි. ලා රතු පාට දළු එන එහෙත් ගෙඩි නො එන උගුරැස්ස ගහ එහා පැත්තේ තිබුණේ සුදු පාට පෙති ගොඩක් තියෙන සුවඳම සුවඳ ඩැෆඩිල් ගසක්ය.. මල් ලොකුම ලොකුය.  වත්තේ ඇති රොන් මඩ බහුලවම එන්නේ ඩැෆඩිල් ගස හරහාය. රොන්මඩ තැන්පත්වී ගස සාරෙට සෑදී ඇත. මල් කඩන්නේ පන්සල් යද්දී පමණි. ගසේ තියෙන මල් කැඩීම මට අනුව මහා පාපයකි. නිකන් කොළ කඩලා දානවා ගහටත් නෑ කියා ආච්චී කියන කතාව පොඩි කාලේ සිටම මා තුළට පත්තියම් වී ඇත. එබැවින් ඉතා කුඩා කල සිටම ගස් වල තිබියදී මල් වල ලස්සන සේම සුවඳද බැලීමට පුරුදු වී සිටියෙමි. ඩැෆඩිල් මල් පොකුරු පිටින් මා නාසයට ලං කර ගනිමි. මලේ මැඩ සිටින චූටි කූඹිත් නොවන පණුවොත් නොවන චූටි සත්තු නහයට ගිය විට මම මල් අත්ත අතහරිමි.

🌴   🌺   🌱    🌹   🌴   🌺   🌱   🌹    🌴
ගෙය දකුණු පැත්තේ පාර අසලම තිබුණේ මන් නිතරම ගැවසෙන වත්ත කොටසයි. ප්‍රධාන දොරෙන් දකුණු පත්තේ තිබුනේ ජැම්සන් ගසකි. එහි ගෙඩි වල ඇඹුල තවමත් මට සිහිවේ. එහි ගෙඩි මට මුලින්ම කෑ හැකි බව පැවසුවේ සීයාය. එදින පේර සීයාද සිටි බව මට මතකය. සීයා හැරමිට්ට ගසමින් පැමින මට පොඩි ගෙඩියක් කඩා දුන් බවත් මා එය කන විට පේර ආතා මහ හයියෙන් සිනසුන බවත් මට මතක ඇත. ජැම්සන් ගසට මා නඟිනවාට ආච්චී විරුද්ධ වුණේ මා කටු ඇන ගනී යැයි සිටූ නිසාය. එහෙත් පසුව කටු ඇන ගන්නෙපා පමණක් කියා ආච්චී මට ගසට නැගීමට ඉඩ දුන්නාය. ජම්සන් ගසට දකුණු පසින් ලොකු ෆාම් ගස් ගොන්නකි. ෆාම් ගස් ඉදිරියේ ඉදිරියට යන ලෙස පෙලට සිටවූ රත්මල් ගස්ය. මා දං කියා කලක් සිතා සිටියේ ඒවාය. කුරුල්ලන් කන සියල්ල අපිත් කනවා යන පාඩම මා උගත්තේ එම දං කුරුල්ලන් කනු දැක ඒවා අපිටද කන්න හැකිදැයි ආච්චීගෙන් ඇසූ දිනය. රත්මල් දං කෑ පළමු අවස්තාව එදින විය. පොළව කොටමින් සිටි ආච්චී අසල කැරකෙමින් මාද කුරුල්ලෙකු සේ  දං කෑවෙමි.
🐦      🐦      🐦      🐦      🐦      🐦      🐦

පාර අයින දිගටම අන්දර ගස් තිබූ අතර ගස් වලට මෙහායින් වත්ත ඇතුලට වන්නට සුදු, කහ, රතු චූටි , රතු ලොකු යන අරලිය ගස් හතර විය. රතු චූටි ගසේ සෑම අගෝස්තුවකම පළමු මල පිපෙනවා මට මතකය. රතු ලොකු මල් වලට නම් මන් ආසම නැත. එහි පෙති කඩා හැලේ. අනිත් ගස් තුනේම එසේ නැත. රතු චූටි ගස හැර ඉතුරු ගස් තුනටම නැගිය හැක. නිතරම පාහේ මා සිටින්නේ මේ ගස් උඩය. මහ දවාලේ ගස් උඩ තනියම සිටින්නට හොඳ නැති බව කියමින් ආච්චී නිතරම කෑ ගසයි. එහි පිටි මකුණන්ද බහුලය. කොළ පිටුපස සිටින මකුණන් ආච්චීට පෙන්නනවා මට මතකය. දළඹුවන් කාලයට අරලිය ගස් දළඹුවන්ගෙන් පිරී යයි. ඒ කාලයට මා අරලිය ගස් වලින් බසින්නේ ඇඟ රතු පැල්ලම්වලින් පුරවන්ය. එකල මුළු ඇඟ පුරා පොල්තෙල් ගානොගත් දිනයක් නොවීය.
එමෙන්ම අරලිය කොළේ දාරද ඉතාම ලස්සනට තිබූ බවත් කොළ හැඩයෙන් හා දාර වලින් ප්‍රමාණයෙන් වෙනස් කොළ සොයා කිසිදු අධ්‍යාපනයක් නොතිබූ කාලයක වත්ත වටේ ගිය බවද මට මතකය.
 
🌿    🍀    🍁    🍂    🌿    🍀   🍁   🍂  

අරලිය ගස්වලට එහා පැත්තේ තිබුණේ පිළිවෙලින් පේර හා ජම්බු  ගසය.  ගස් දෙක එක ළඟින් පැළවී දෙපැත්තට සමාන්තරව බරවී විහිදී තිබිණි. පේර ගසද එකල මාගේ වාසස්ථානයකි. රතු පාට ජම්බු සෑදෙන්නේ පේර සෑදෙන කාලයටමය. ජම්බු ඉඳී බිම වැටී තිබෙන්නේ දුඹුරු රෙද්දක් උඩ රතු මල් වැටී ඇති පරිද්දෙනි. ජම්බු ගසට මෙහායින් මල් වලින් බරවෙන වතු සුද්ද ගස, පේර ගසට මෙහායින් ලා රෝස පාට වැල් රෝස ගස්, රත්මල් ගස් යට බේබි රෝස ගස්, වැලක යවපු රෑ කුමාරි වැල, ආ තව පිහිඹියා ගහ, එහි පොල් ලෙලි ගැට ගසා පරවි මල්ද එහිද තිබුණේ අමුතු හැඩැති පත්‍රයය. ෆාම් ගස් අසල තිබූ කඩුපුල් හා ලා දම් ඕකිඩ්, පිහිඹියා ගසට මෙහායින් කැළණිතිස්ස ලොකු මල්ගස් තුනක් එක පෙලට සිටුවා තිබිණි. වත්තේ වම් පසට වන්නට තවත් අඹ ගසක්, ඇඹුල් දොඩම් ගසක්, මුස්සැන්ඩාස් ගසක්, පේර ගසක්, පොල් හා තැඹිලි ගසක් විය. ඊට අමතරව ඉදිරිපස මිදුලේ සරුසාරෙට මල් සෑදෙන රුක් අත්තන වැලක්, නිල් කටරොළු වැලක්, නම නොදන්නා සෑමදාම වැල පිරෙන්න සුදු මල් සෑදෙන ජාති දෙකක මල් වැල් දෙකක්,  බාබන් ඩේසියා , කැනාස්, කිරි ඉද්ද ගස්ද, කපුරු, බිගෝනියා, ආදියද විය. එකල ආච්චීගේ ගෙදර මල් වත්ත ලෙසින්ද හැදින්විය. කාලයත් සමඟ ගස් කපා සිංහල උළු ගලවා ෂීට් සෙවිලි කළ ගෙය වර්තමානයේ මට සිහි කරන්නේ ශේෂ වී ගිය අතීතයක නටඹුන්ය.

0 comments:

Post a Comment