කුඩා කාලයේ මතකයන් අතර මා හට අමරණීය වැසි දිනයක් ඇත. එනම් සවසක් රාත්‍රියක් හා උදෑසනක් පුරාවට වැසිවැස අහළ පහළ ගල් කොරිහි පොකුණු උතුරාගිය දිනයයි. එපමණක් නොව එදින රාත්‍රියේ වැස්සෙන් වැටී තිබුණේ මාළුය. එසේ කීවේ උඩහ ගෙදර කලුවා මාමාය.
"ලොකු එවුන් අල්ලද්දි ආදො වගේ ලිස්සනවා" ඔහු ඔලුවේ සිලිබෑගයක්ද දමාගෙන පාර දෙපසින් ගසාගෙන යන මාලුන් පසුපස එසේ කියමින් හයියෙන් හයියෙන් ඇවිද්දා මට මතකය. එම උදෑසන ඒ අවස්තාවේ ඔහු හා තවත් කිහිපදෙනෙක් මහපාරේ කාණුවෙන් මාලු අල්ලන දෙස මා බලා සිටියේ ආච්චීගේ නිවස ඉදිරිපස වූ පෝටිකෝවේ සිට රෝසපාට කක්කාපෝච්චියට කක්කා දමමිනි. මාගේ පසෙකින් ඒ දෙස සිනහවෙමින් බලා සිටින අම්මාත්, තාත්තාත්, පොඩි මාමාත් අනෙක් පසින් සීයාත් විය. ආච්චී නම් "පව්කාරයෝ" යැයි බනිමින් පෝටිකෝවේ බිම වූ වතුර පිස දැම්මාය.
තාත්තාට අනුව නම් ගල් කොරිවල සිටි ලොකුමාලු එසේ වතුර පහරෙහි සැරට ගසාගෙන පාර දෙසට පැමිණ ඇත.
කලුමාමා මාලුන් දෙතුන් දෙනෙකු සිලිබෑගයකට දමාගෙන පැමිණ ආච්චීගෙන් ඇසූයේ " නැන්දේ ,නැන්දටත් මාලු දෙන්නදැයි " ලෙසින් පමණි. ආච්චී පරලවිය. "ගිහින් උබේ අම්මට දීපං. දීලා කන්න හදාගනිං. ඕවා හදන්න මෙහෙ කවුරුත් නෑ." ආච්චීගේ පිළිතුර විය.
එවිට කලුමාමා මාගේ පොඩිමාමාටද කතා කරමින් පැවසූයේ මාලු තවත් ඇල්ලීමට ඔහු හා පැමිණෙන ලෙසයි. පොඩිමාමා ඔහු හා යාමට සූදානම් වන විට ආච්චී ගමනට හරස් කපමින් කීවේ " උඹ ඔය පව්කාර ගමන ගිහින් ආවොත් මන් උඹට මේ පොඩි එකීව අල්ලන්න දෙන්නෙ නෑ " යනුවෙනි.
"කොහෙන් ගියත් උන් මැරෙනවා." යනුවෙන් පැවසූවද පොඩිමාමා කලුමාමා සමග නොගියේය.
"ඒකනෙ බන්. උන් පාරෙ මැරෙන්නෙ වාහනවලට යටවෙලා. කාණුවට ගියොත් වේල්ලෙන් කුඹුරට. මඩකාලා තමා නහින්නෙ. එතකොට හොයාගත්තත් සුද්දකරන්න අමාරුයි. කොහොමත් බඩටනෙ. උන් මැරෙන්නෙ අපේ බඩ පුරවලා.උන්ටත් පින්" යනුවෙන් පවසමින් කලුමාමා අප නිවසින් පිටත්වී ගියේය.
මාමාත් අම්මාත් තාත්තාත් එයට සිනහවෙද්දී වත්තෙන් පිටවීයන කලුමාමාට ඔරවමින්, ආච්චී මා සේදීමට ගෙන ගියාය.
0 comments:
Post a Comment