පොඩි කාලේ 11
👶 👶 👶 👶 👶 👶 👶 👶
සුදුපාට , කහපාට සමනලුන් බහුල වූ එම යුගයේ ජුනි ජූලි සිට මද වශයෙනුත් නොවැම්බර් දෙසැම්බර් කාලවල තෙක් වැඩියෙනුත් සමනලුන් එක් දෙසකට එනම් ශ්‍රී පාදස්ථානයට පියාඹන ආකාරය මට මතකය. උන්ට මහන්සි වූ විට වත්තකට ඇවිත් මල් පැණි බී නැවතත් පියාඹන්නෝය. අපේ ගෙදරද ආච්චී මල් වවන්නේ අවාරයේ සිරීපාදෙ යන සමනලුන්ට මල් පැණි බොන්නටය.
🌿 🍀 🍁 🍂 🌿 🍀 🍁 🍂
සමනලුන් පාර හොයාගන්නේ කොහොමද ඇසූ විට සීයා කියන්නේ සමනලුන් ඒක ඉවෙන් හොයාගන්නා බවය. පොඩි කාලෙම සමනලයාගේ අම්මයි තාත්තයි ඒක සමනලයාට කියා දෙන බව පේර ආතා කියයි. ආච්චී නම් කියන්නේ සමනලුන්ට පාර හොයා ගන්න ලොකුවට බෝර්ඩ් ගසා ඇති බවය. 🔃 🔚 ↪ 🔞. ⬅⬆⬇ සමනලුන් අකුරු දන්නා නිසා උන් පාර හොයන් යන්නේලු. අපේ පාරේත් බෝර්ඩ් එකක් ඇතිලු. තියෙන්නේ ගෙදරින් තව දුරලු. මන් ප්‍රශ්න ඔක්කොම කල්පනා කරමින් සීයා කිව්වෙ මෙහෙමයි කියා ආච්චීටද ආච්චී කිව්වේ මෙහෙමයි කියා සීයටද කියන විට පේරා ආතා තුනම හරි යැයි කියයි. ලොකු සමනල්ලු එනම් කලින් ගිය අය මතකයෙන් ඉවෙන් වගේ පාර හොයන් යන අතර අම්මලා තාත්තලා එක්ක තවත් සමනල්ලු යති. අමතක උනොත් බෝර්ඩ් බලති. තනියම යන අලුත් අය බෝර්ඩ් බලන් යති. තාත්තා නම් පවසන්නේ සමනලයා මැප් එකක් සාක්කුවේ දමාගෙන යන බවකි. එසේත් නොමැතිනම් පිටේ බැදගෙන.. ඒත් මම දැක්කේ නැහැනේ.. ඒක මට පේන්නේ නැත්තේ උන් මැප් එක කවුරු හරි හොරකම් කරනවාට බයෙන්ලු.මටවත් එය පෙන්නන්නේ නැතිලු.
සමනලුන් රංචු පිටින් පාර දිගේ පියාඹන විට ආච්චී සීයා සහ මම ඉස්තෝප්පුවේ සිට උන් දෙස නිහඬව බලා සිටින්නෙමු. ඇතැම්විට පේර ආතාද එක් වෙයි. එය වචනයෙන් විස්තර නොකල හැකි අවස්ථාවකි. විවිධ වයස්වල සිටින අපි එක අරමුණකට නොනවත්වා පියාඹන සමනලුන් දෙස බලා සිටින්නෙමු. පාරේ යන වාහන වලට උන් වැදී මැරී යන බව අප දකින්නේ ඇස් ඉදිරිපිටය. උන් මැරී මහපරේ සිටිනු බලන්නට මම පාරට යමි. කැඩුණු අත්තටු සී සී කඩ විසිරී ඇත. ඇතැම් විට සුළඟට ගසාගෙන යයි.ඒ ලෙසට අද දවසේ දැක ගන්නට සමනලුන් සිරීපාදේ යන්නේ නැත. එසේම පොඩි කාලයෙන් පසු අවසන් වරට මියගිය සමනලුන් විශාල ප්‍රමාණයක ගහණයක් දැක්කේ නාමල් උයනේදීය. චප්ප වූ සමනලයෙක් ගෙන සීයාද සමඟ මම ආපසු එමි. ගමනාන්තයට ලංවන සමනලුන් විරල බව සීයා කියයි. මැරෙන සමනලුන්ට මොනා වේද යන්න සීයාගෙන් ඇසූවිට සීයා කියන්නේ ඒ සමනලුන් බුදු සාදු ගාවට යන බවයි. එතකොට උන් යන්නේ ඒත් බුදු සාදු ගාවට.. එතකොට මැරෙන අයයි අනිත් අයයිත් යන්නේ බුදුසාදු ගාවට??? සීයා ඔව් කියයි. ඉතින් පව්නේ . උන් මැරෙනවානේ.සීයා සිනහ වෙයි. එදා මට වටහා ගත නොහැකි වූයේත් සීයාගෙන් ඇසීමට තරම් තේරුණත් වචන මදි වීම නිසා අසාගත නොහැකිවූයේත් සමනලයා අතරමගට ගිහින් මැරී බුදු සාදු ගාවට යාමේත් සිරීපාදේ ගොස් බුදු සාදු හමුවී මැරී යාමේත් අතර වෙනසයි. එහෙත් අද ඒ දෙකම කළ හැකි වූවත් මා ඒ අනුව කටයුතු කරනවාද යන්න මට ප්‍රෙහෙලිකාවකි.
🐝 🐝 🐝 🐝 🐝 🐝 🐝
🐝 🐝 🐝 🐝 🐝 🐝 🐝
0 comments:
Post a Comment