Usual in Daily

Feelings are much like Waves, we can't stop them from coming but we can choose; which one to surf.

School Times

We didn't realize we were making memories, we just knew we having F U N....

ගැහැණු ළමයාගේ කතාව

I'm so thankful I had a childhood before technology took over....

For a better Life

I will love the LIGHT for it shows me the way,yet I will endure the darkness because it shows me the sTaRs...

It's Shows me

A private life is H A P P Y Life

පොඩි කාලේ 20

 කුඩා කාලයේ මතකයන් අතර මා හට අමරණීය වැසි දිනයක් ඇත. එනම් සවසක් රාත්‍රියක් හා උදෑසනක් පුරාවට වැසිවැස අහළ පහළ ගල් කොරිහි පොකුණු උතුරාගිය දිනයයි. එපමණක් නොව එදින රාත්‍රියේ වැස්සෙන් වැටී තිබුණේ මාළුය. එසේ කීවේ උඩහ ගෙදර කලුවා මාමාය.

 "ලොකු එවුන් අල්ලද්දි ආදො වගේ ලිස්සනවා" ඔහු ඔලුවේ සිලිබෑගයක්ද දමාගෙන පාර දෙපසින් ගසාගෙන යන මාලුන් පසුපස එසේ කියමින් හයියෙන් හයියෙන් ඇවිද්දා මට මතකය. එම උදෑසන ඒ අවස්තාවේ ඔහු හා තවත් කිහිපදෙනෙක් මහපාරේ කාණුවෙන් මාලු අල්ලන දෙස මා බලා සිටියේ ආච්චීගේ නිවස ඉදිරිපස වූ පෝටිකෝවේ සිට රෝසපාට කක්කාපෝච්චියට කක්කා දමමිනි. මාගේ පසෙකින් ඒ දෙස සිනහවෙමින් බලා සිටින අම්මාත්, තාත්තාත්, පොඩි මාමාත් අනෙක් පසින් සීයාත් විය. ආච්චී නම් "පව්කාරයෝ" යැයි බනිමින් පෝටිකෝවේ බිම වූ වතුර පිස දැම්මාය.


තාත්තාට අනුව නම් ගල් කොරිවල සිටි ලොකුමාලු එසේ වතුර පහරෙහි සැරට ගසාගෙන පාර දෙසට පැමිණ ඇත. 


කලුමාමා මාලුන් දෙතුන් දෙනෙකු සිලිබෑගයකට දමාගෙන පැමිණ ආච්චීගෙන් ඇසූයේ " නැන්දේ ,නැන්දටත් මාලු දෙන්නදැයි " ලෙසින් පමණි. ආච්චී පරලවිය.  "ගිහින් උබේ අම්මට දීපං. දීලා කන්න හදාගනිං. ඕවා හදන්න මෙහෙ කවුරුත් නෑ." ආච්චීගේ පිළිතුර විය.


එවිට කලුමාමා මාගේ පොඩිමාමාටද කතා කරමින් පැවසූයේ මාලු තවත් ඇල්ලීමට ඔහු හා පැමිණෙන ලෙසයි. පොඩිමාමා ඔහු හා යාමට සූදානම් වන විට ආච්චී ගමනට හරස් කපමින් කීවේ " උඹ ඔය පව්කාර ගමන ගිහින් ආවොත් මන් උඹට මේ පොඩි එකීව අල්ලන්න දෙන්නෙ නෑ " යනුවෙනි. 

"කොහෙන් ගියත් උන් මැරෙනවා." යනුවෙන් පැවසූවද පොඩිමාමා කලුමාමා සමග නොගියේය. 

"ඒකනෙ බන්. උන් පාරෙ මැරෙන්නෙ වාහනවලට යටවෙලා. කාණුවට ගියොත් වේල්ලෙන් කුඹුරට. මඩකාලා තමා නහින්නෙ. එතකොට හොයාගත්තත් සුද්දකරන්න අමාරුයි. කොහොමත් බඩටනෙ. උන් මැරෙන්නෙ අපේ බඩ පුරවලා.උන්ටත් පින්" යනුවෙන් පවසමින් කලුමාමා අප නිවසින් පිටත්වී ගියේය. 


මාමාත් අම්මාත් තාත්තාත් එයට සිනහවෙද්දී වත්තෙන් පිටවීයන කලුමාමාට ඔරවමින්, ආච්චී මා සේදීමට ගෙන ගියාය.

ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ -*

 චූටි කාලෙ මාහට කක්කා දැමීමට පවසා  රෝසපාට පොඩි කක්කා පෝච්චියෙ වාඩ් කරවා මා එසේ වාඩි කරවූ කෙනා වෙනත් වැඩක යෙදේ නම් මා කක්කා පෝච්චිය කකුල් දෙකින් අද්දමින් පොළව සූරමින් ගෙයි පිටුපස සිට කාමරයක් කාමරයක් වෙතද ඉන්පසු ගෙයි ඉදිරිපස වෙතද යන්නේලු. ඇතැම් රාත්‍රීවල රෑ අටේ පුවත්ද මා බලන්නේ නිවසේ පිටුපස සිට ඉදිරිපසට පැමිණ එලෙස කක්කා දමමිනි. ලොකු මාමා මෙයට විරුද්ධ වී මා නැවතත් ගෙයි පිටුපසට එළවූ අවස්තාද ඇතිබව අම්මා මට කියා තිබේ.

කෙසේ නමුදු අදවන විට මා වැඩුණු තරුණියක බැවින් කුඩා කළ පිළිබදව මතකයන් අනුව කෙලෙසක එසේ හැසිරුණිදැයි මා හටම සිතාගත නොහැක.

ගැහැණු ළමයාගේ කතාව

 චූටි කාලයේ මතකයන් අතර අමතක නොවන මතකයන් රාශියක් අතරේ නම නොදන්නා කැළෑ මල්වල මතකයන්ද විශාල ප්‍රමාණයකි.

එකළ අපේ ගෙය සාදනා කාලයයි. ඒ එක්දහස් නවසිය අනූනව වෙනි අවුරුද්ද කියා සිතමි.

රෝසපාට කැලෑමල් විශාල සංඛ්‍යාවක් එකවර පිපෙන ගස් වලින් එකල වත්ත ගහණවිය. ඇත්තෙන්ම ගස් කීවද ඒවා උසට වැඩුණු වල්‍ ශාකය. ගස් බූවසහිතය. කොළද ගෑවුණුවිට කසන සුළුය. මැද දම්පාටවූත් පෙති රෝසපාට වූත් මෙම මල් කඩා මා කරන්නේ හොද ගලකට තබා තැලීමය. මල් තැලීමෙන් තොර ලොවක් එවිට මට නැත. මල්ලීද ඉතාපොඩිය. ඔහු ගස් අස්සේ රිංගා තැලීම සදහා මට මල් ගෙනවිත් දෙයි. එම මල් තැලූවිට සෙවල වැනිය.
මා කටේ තිබෙන කෙල සියල්ල තලන මල්  ගොඩ උඩට තූ දමා ඒ සියල්ල තලමි.

තවද කහපාට ලොකු පෙති සහිත මැද ලේ කුණු පාට වූ මල් සහිත කටු ගස්ද විය. මා ඒවා තලන්නේ වෙනමය.
කොළපාට දිග කූරක දම්පාට මල් එන ගස්ද විශාල ලෙසින් වත්ත පුරා විහිදී තිබිණි. ඒවා හා නිදිකුම්බා එකටත්, ඉහළට ගිය ලොකු නිදිකුම්බා ගස් වල සෑදෙන අන්නාසි ගෙඩි වෙනමත් ලෙසින් තලා දැමුවේ, ගේ සාදන බාසුන්නැහැලාට තේ දීමට ආච්චී සමග පැමිණි වේලාවන්හිදීය.

මල්වලින් මා නොතැලුවේ ගදපානත්, යකඩමරං මලුත් විතරක්මය. ගදපාන ගදය. එදා මෙන්ම අදත් මා ගදපාන මල් වලට කැමති නැ

ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ (11)


පොඩි කාලේ  11

👶   👶   👶   👶   👶   👶   👶   👶 

සුදුපාට , කහපාට සමනලුන් බහුල වූ එම යුගයේ ජුනි ජූලි සිට මද වශයෙනුත් නොවැම්බර් දෙසැම්බර් කාලවල තෙක් වැඩියෙනුත් සමනලුන් එක් දෙසකට එනම් ශ්‍රී පාදස්ථානයට පියාඹන ආකාරය මට මතකය. උන්ට මහන්සි වූ විට වත්තකට ඇවිත් මල් පැණි බී නැවතත් පියාඹන්නෝය. අපේ ගෙදරද ආච්චී මල් වවන්නේ අවාරයේ සිරීපාදෙ යන සමනලුන්ට මල් පැණි බොන්නටය.

🌿    🍀    🍁    🍂    🌿    🍀   🍁   🍂    

සමනලුන් පාර හොයාගන්නේ කොහොමද ඇසූ විට සීයා කියන්නේ සමනලුන් ඒක ඉවෙන් හොයාගන්නා බවය.  පොඩි කාලෙම සමනලයාගේ අම්මයි තාත්තයි ඒක සමනලයාට කියා දෙන බව පේර ආතා කියයි. ආච්චී නම් කියන්නේ සමනලුන්ට පාර හොයා ගන්න ලොකුවට බෝර්ඩ් ගසා ඇති බවය. 🔃     🔚      ↪     🔞.     ⬅⬆⬇  සමනලුන් අකුරු දන්නා නිසා උන් පාර හොයන් යන්නේලු. අපේ පාරේත් බෝර්ඩ් එකක් ඇතිලු. තියෙන්නේ ගෙදරින් තව දුරලු. මන් ප්‍රශ්න ඔක්කොම කල්පනා කරමින් සීයා කිව්වෙ මෙහෙමයි කියා ආච්චීටද ආච්චී කිව්වේ මෙහෙමයි කියා සීයටද කියන විට පේරා ආතා තුනම හරි යැයි කියයි. ලොකු සමනල්ලු එනම් කලින් ගිය අය මතකයෙන් ඉවෙන් වගේ පාර හොයන් යන අතර අම්මලා තාත්තලා එක්ක තවත් සමනල්ලු යති. අමතක උනොත් බෝර්ඩ් බලති. තනියම යන අලුත් අය බෝර්ඩ් බලන් යති. තාත්තා නම් පවසන්නේ සමනලයා මැප් එකක් සාක්කුවේ දමාගෙන යන බවකි. එසේත් නොමැතිනම් පිටේ බැදගෙන.. ඒත් මම දැක්කේ නැහැනේ.. ඒක මට පේන්නේ නැත්තේ උන් මැප් එක කවුරු හරි හොරකම් කරනවාට බයෙන්ලු.මටවත් එය පෙන්නන්නේ නැතිලු.

සමනලුන් රංචු පිටින් පාර දිගේ පියාඹන විට  ආච්චී සීයා සහ මම ඉස්තෝප්පුවේ සිට උන් දෙස නිහඬව බලා සිටින්නෙමු. ඇතැම්විට පේර ආතාද එක් වෙයි. එය වචනයෙන් විස්තර නොකල හැකි අවස්ථාවකි. විවිධ වයස්වල සිටින අපි එක අරමුණකට නොනවත්වා පියාඹන සමනලුන් දෙස බලා සිටින්නෙමු. පාරේ යන වාහන වලට උන් වැදී මැරී යන බව අප දකින්නේ ඇස් ඉදිරිපිටය. උන් මැරී මහපරේ සිටිනු බලන්නට මම පාරට යමි. කැඩුණු අත්තටු සී සී කඩ විසිරී ඇත. ඇතැම් විට සුළඟට ගසාගෙන යයි.ඒ ලෙසට අද දවසේ දැක ගන්නට සමනලුන් සිරීපාදේ යන්නේ නැත. එසේම පොඩි කාලයෙන් පසු අවසන් වරට මියගිය සමනලුන් විශාල ප්‍රමාණයක ගහණයක් දැක්කේ නාමල් උයනේදීය.  චප්ප වූ සමනලයෙක් ගෙන සීයාද සමඟ මම ආපසු එමි. ගමනාන්තයට ලංවන සමනලුන් විරල බව සීයා කියයි. මැරෙන සමනලුන්ට මොනා වේද යන්න සීයාගෙන් ඇසූවිට සීයා කියන්නේ ඒ සමනලුන් බුදු සාදු ගාවට යන බවයි. එතකොට උන් යන්නේ ඒත් බුදු සාදු ගාවට.. එතකොට මැරෙන අයයි අනිත් අයයිත් යන්නේ බුදුසාදු ගාවට??? සීයා ඔව් කියයි. ඉතින් පව්නේ . උන් මැරෙනවානේ.සීයා සිනහ වෙයි. එදා මට වටහා ගත නොහැකි වූයේත් සීයාගෙන් ඇසීමට තරම් තේරුණත් වචන මදි වීම නිසා අසාගත නොහැකිවූයේත් සමනලයා අතරමගට ගිහින් මැරී බුදු සාදු ගාවට යාමේත් සිරීපාදේ ගොස් බුදු සාදු හමුවී මැරී යාමේත් අතර වෙනසයි. එහෙත් අද ඒ දෙකම කළ හැකි වූවත් මා ඒ අනුව කටයුතු කරනවාද යන්න මට ප්‍රෙහෙලිකාවකි.
🐝      🐝      🐝      🐝      🐝      🐝      🐝

ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ (9)

පොඩි කාලේ  9

👶   👶   👶   👶   👶   👶   👶   👶  
කලින් කියූ පරිදි ආච්චීගේ වත්ත ගස් වලින් වැසී තිබිණි. ලා රතු පාට දළු එන එහෙත් ගෙඩි නො එන උගුරැස්ස ගහ එහා පැත්තේ තිබුණේ සුදු පාට පෙති ගොඩක් තියෙන සුවඳම සුවඳ ඩැෆඩිල් ගසක්ය.. මල් ලොකුම ලොකුය.  වත්තේ ඇති රොන් මඩ බහුලවම එන්නේ ඩැෆඩිල් ගස හරහාය. රොන්මඩ තැන්පත්වී ගස සාරෙට සෑදී ඇත. මල් කඩන්නේ පන්සල් යද්දී පමණි. ගසේ තියෙන මල් කැඩීම මට අනුව මහා පාපයකි. නිකන් කොළ කඩලා දානවා ගහටත් නෑ කියා ආච්චී කියන කතාව පොඩි කාලේ සිටම මා තුළට පත්තියම් වී ඇත. එබැවින් ඉතා කුඩා කල සිටම ගස් වල තිබියදී මල් වල ලස්සන සේම සුවඳද බැලීමට පුරුදු වී සිටියෙමි. ඩැෆඩිල් මල් පොකුරු පිටින් මා නාසයට ලං කර ගනිමි. මලේ මැඩ සිටින චූටි කූඹිත් නොවන පණුවොත් නොවන චූටි සත්තු නහයට ගිය විට මම මල් අත්ත අතහරිමි.

🌴   🌺   🌱    🌹   🌴   🌺   🌱   🌹    🌴
ගෙය දකුණු පැත්තේ පාර අසලම තිබුණේ මන් නිතරම ගැවසෙන වත්ත කොටසයි. ප්‍රධාන දොරෙන් දකුණු පත්තේ තිබුනේ ජැම්සන් ගසකි. එහි ගෙඩි වල ඇඹුල තවමත් මට සිහිවේ. එහි ගෙඩි මට මුලින්ම කෑ හැකි බව පැවසුවේ සීයාය. එදින පේර සීයාද සිටි බව මට මතකය. සීයා හැරමිට්ට ගසමින් පැමින මට පොඩි ගෙඩියක් කඩා දුන් බවත් මා එය කන විට පේර ආතා මහ හයියෙන් සිනසුන බවත් මට මතක ඇත. ජැම්සන් ගසට මා නඟිනවාට ආච්චී විරුද්ධ වුණේ මා කටු ඇන ගනී යැයි සිටූ නිසාය. එහෙත් පසුව කටු ඇන ගන්නෙපා පමණක් කියා ආච්චී මට ගසට නැගීමට ඉඩ දුන්නාය. ජම්සන් ගසට දකුණු පසින් ලොකු ෆාම් ගස් ගොන්නකි. ෆාම් ගස් ඉදිරියේ ඉදිරියට යන ලෙස පෙලට සිටවූ රත්මල් ගස්ය. මා දං කියා කලක් සිතා සිටියේ ඒවාය. කුරුල්ලන් කන සියල්ල අපිත් කනවා යන පාඩම මා උගත්තේ එම දං කුරුල්ලන් කනු දැක ඒවා අපිටද කන්න හැකිදැයි ආච්චීගෙන් ඇසූ දිනය. රත්මල් දං කෑ පළමු අවස්තාව එදින විය. පොළව කොටමින් සිටි ආච්චී අසල කැරකෙමින් මාද කුරුල්ලෙකු සේ  දං කෑවෙමි.
🐦      🐦      🐦      🐦      🐦      🐦      🐦

පාර අයින දිගටම අන්දර ගස් තිබූ අතර ගස් වලට මෙහායින් වත්ත ඇතුලට වන්නට සුදු, කහ, රතු චූටි , රතු ලොකු යන අරලිය ගස් හතර විය. රතු චූටි ගසේ සෑම අගෝස්තුවකම පළමු මල පිපෙනවා මට මතකය. රතු ලොකු මල් වලට නම් මන් ආසම නැත. එහි පෙති කඩා හැලේ. අනිත් ගස් තුනේම එසේ නැත. රතු චූටි ගස හැර ඉතුරු ගස් තුනටම නැගිය හැක. නිතරම පාහේ මා සිටින්නේ මේ ගස් උඩය. මහ දවාලේ ගස් උඩ තනියම සිටින්නට හොඳ නැති බව කියමින් ආච්චී නිතරම කෑ ගසයි. එහි පිටි මකුණන්ද බහුලය. කොළ පිටුපස සිටින මකුණන් ආච්චීට පෙන්නනවා මට මතකය. දළඹුවන් කාලයට අරලිය ගස් දළඹුවන්ගෙන් පිරී යයි. ඒ කාලයට මා අරලිය ගස් වලින් බසින්නේ ඇඟ රතු පැල්ලම්වලින් පුරවන්ය. එකල මුළු ඇඟ පුරා පොල්තෙල් ගානොගත් දිනයක් නොවීය.
එමෙන්ම අරලිය කොළේ දාරද ඉතාම ලස්සනට තිබූ බවත් කොළ හැඩයෙන් හා දාර වලින් ප්‍රමාණයෙන් වෙනස් කොළ සොයා කිසිදු අධ්‍යාපනයක් නොතිබූ කාලයක වත්ත වටේ ගිය බවද මට මතකය.
 
🌿    🍀    🍁    🍂    🌿    🍀   🍁   🍂  

අරලිය ගස්වලට එහා පැත්තේ තිබුණේ පිළිවෙලින් පේර හා ජම්බු  ගසය.  ගස් දෙක එක ළඟින් පැළවී දෙපැත්තට සමාන්තරව බරවී විහිදී තිබිණි. පේර ගසද එකල මාගේ වාසස්ථානයකි. රතු පාට ජම්බු සෑදෙන්නේ පේර සෑදෙන කාලයටමය. ජම්බු ඉඳී බිම වැටී තිබෙන්නේ දුඹුරු රෙද්දක් උඩ රතු මල් වැටී ඇති පරිද්දෙනි. ජම්බු ගසට මෙහායින් මල් වලින් බරවෙන වතු සුද්ද ගස, පේර ගසට මෙහායින් ලා රෝස පාට වැල් රෝස ගස්, රත්මල් ගස් යට බේබි රෝස ගස්, වැලක යවපු රෑ කුමාරි වැල, ආ තව පිහිඹියා ගහ, එහි පොල් ලෙලි ගැට ගසා පරවි මල්ද එහිද තිබුණේ අමුතු හැඩැති පත්‍රයය. ෆාම් ගස් අසල තිබූ කඩුපුල් හා ලා දම් ඕකිඩ්, පිහිඹියා ගසට මෙහායින් කැළණිතිස්ස ලොකු මල්ගස් තුනක් එක පෙලට සිටුවා තිබිණි. වත්තේ වම් පසට වන්නට තවත් අඹ ගසක්, ඇඹුල් දොඩම් ගසක්, මුස්සැන්ඩාස් ගසක්, පේර ගසක්, පොල් හා තැඹිලි ගසක් විය. ඊට අමතරව ඉදිරිපස මිදුලේ සරුසාරෙට මල් සෑදෙන රුක් අත්තන වැලක්, නිල් කටරොළු වැලක්, නම නොදන්නා සෑමදාම වැල පිරෙන්න සුදු මල් සෑදෙන ජාති දෙකක මල් වැල් දෙකක්,  බාබන් ඩේසියා , කැනාස්, කිරි ඉද්ද ගස්ද, කපුරු, බිගෝනියා, ආදියද විය. එකල ආච්චීගේ ගෙදර මල් වත්ත ලෙසින්ද හැදින්විය. කාලයත් සමඟ ගස් කපා සිංහල උළු ගලවා ෂීට් සෙවිලි කළ ගෙය වර්තමානයේ මට සිහි කරන්නේ ශේෂ වී ගිය අතීතයක නටඹුන්ය.

ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ (12)

පොඩි කාලේ  8

👶   👶   👶   👶   👶   👶   👶   👶  

ආච්චීලාගේ ගෙදර එදවස මල්ගස් වලින් හා පළතුරු එළවළු පැළ වලින් ගහණ විය.ඒ සියලුම ගස් වලට ආච්චී අතින්ම සත්කාර කළ අතර ඇගේ වත්තේ කිසිවක් නොවැවූ තැනක් නොමැති විය.

🌴   🌺   🌱    🌹   🌴   🌺   🌱   🌹    🌴

  නිවසේ ප්‍රධාන දොරටුවෙන් ඊසාන දෙසට මිදුල මැද්දේ පිහිටියේ තඩි අඹ ගසකි.. අඹ ගසේ විශාලත්වයටම සරිලන පරිදි ගස වැසීමට තරම් වූ දිමි ගහණයක් එහි ජීවත් විය. කොළ ඉදී බිම වැටෙන විට කොළ සමඟ බහුලව දිමි ගොටු බිමට වැටීම නිස මිදුලේද දිමියන් සුළු හෝ මහා පරිමාණයෙන් ව්‍යාප්තව සිටියහ. මා ඉතා කුඩා කල සැබවින්ම දිමියන් නොසිටි අතර මා හට අවුරුදු  3/4 වූ අවදියේදි දිමියන්ගේ බහුල වැඩිවීම මට මතකය.ඇඟේ ඇලවී විකා කන දිමියන් මට පෙනෙන්නට බැරිය. දැකපු තැන උන් මරා දැමීමට මා මනාපය. ඇඟේ ඇලවී සිටින දිමියන් ගැලවීම කූඩැල්ලන් ගලවනවාට හපන්ය. දිමියන් ගැලවීමේදී උන්ගේ බෙල්ලද අත පයද වෙන වෙනම ගැලවී යන්නේ මහ එපා කරපු ගඳක්ද සමඟිණි..පසු කලෙක ගස කපා දැමුවේද දිමි කරදයද එක් හේතුවක් වූ හෙයිනි. කැපුවේ මයිකල් මාමාය. එදා වැඩිපුරම දිමියන් කෑවේ ඉස්තෝප්පුවේ සිටි මාවය. උන්ගේ බෙලි ගලවමින් අත් පය ගලවමින් උඩු කය නිරුවත්ව ඉස්තෝප්පුවේ එහෙ මෙහෙ දුවමින් දිමියන්ගෙන් බේරීමට මා දැරූ උත්සහය දැනුදු මට මතකය. දිමියන්ගේ එපා කරපු ගඳින් බේරීමට එදින විශේෂයෙන් නෑමට සිදු විය.
🐜    🐜    🐜    🐜    🐜    🐜    🐜    🐜    🐜

ඒ කෙසේ වූවද අඹ ගහේ ගෙඩි නම් පංකාදු පහකි. එහි ගෙඩි නොකෑ ප්‍රදේශවාසීන් ගණන විරල විය. ගෙඩි සෑදී තිබෙන කාලයට ගේ අසලින් යන ප්‍රදේශවාසීන් එදවස නිතරම ඇසුවේ අඹ නැත්ද යන්න ලෙසිනි. විකිණීමට හෝ ගෙදර ප්‍රයෝජනයට අඹ ඉල්ලන අයට ආච්චී මදි නොකියන්න අඹ කඩා ගන්නා ලෙස පවසයි. නමුදු අඹ කැඩීමට කොල්ලො කුරුට්ටන් පැමිණි විට ඔවුන්ට අඹ කැඩීමට සිදුවන්නේ ආච්චිගේ දහසකුත් එකක් වු බාධා මධ්‍යයේය. අඹ ගසට නැග අඹ කඩන්නේ නම් ආච්චී මනාපය.  ඒ ගල් පොළු ගැසීම නිසා මිදුලට වන විනාශය අවම වන නිසාය. කොළ හැලී මිදුල හැඩි වනවාට ආච්චී කැමති නැත. මිදුල මෙන්ම ජනේලද බේරා ගැනීම ආච්චිගෙ අරමුණ සේම වත්තේ ඇති ගල් තැන තැන දමා යාමට නොදීම සුළු අබිප්‍රාය වේ. කොල්ලන් ඇවිත් අඹ කඩා යන විට ආච්චී නොහිටියොත් නැවත ගෙදර ආ විට සීයා සමඟ වලියකි. ඒ සීයා මිදුල හැඩි වන එක ගැන වැඩිදුර නොසිතූ බැවිනි.

😂    😂    😂    😂   😂    😂    😂    😂    😂

ආච්චීලාගේ ගෙදර සාදා තිබුනේ වලක බාගයක්ද ඈඳා ගනිමිනි. ඉදිරියට ගෙය තනි තට්ටුවට පෙනුනද පිටුපස සිට බලද්දී ගෙය තට්ටු දෙකකි. වලට උඩින් වූ උඩ මිදුලේ  වත්ත කෙලවරට වන්නට  උගුරැස්ස ගසක්ද විය. මල්ලිත් මාත් රංඩු කළහොත් හෝ නරක වැඩක් කලහොත් අපි අපායට යනවාය. බොරු කියන මිනිසුන්ව අපායට ඇද ගන්නවාය. ආච්චී පවසන ආකාරයට කටු ඉඹුල් ගහ ලෙස ආච්චී හදුන්වා දුන්නේ උගුරැස්ස ගසය .
🌴    🌴    🌴    🌴    🌴    🌴    🌴    🌴

අප ඉතින් උගුරැස්ස ගසට ලං වන්නේ නැති තරම්ය. නමුදු ආච්චී ගස ලඟින් එහෙ මෙහෙ යයි. ගස අසලම ලොකු කුණු ගොඩක් සාදා පුළුස්සයි. ආච්චී පවසා තිබූ ආකාරයට උගුරැස්ස ගස ගාවට ගියත් ඇතිය. අපායට යයි. එසේ නම් අපායේ ගස පුච්චන ආච්චී අපායට නොයයි. ඒ කෙසේද? ආච්චී දෙවෙනිවර කතාව අළුත් කළාය. ගස ඇල්ලුවොත් පමණක් අපායට යයි. කටු පෑගුවොත් අපායට යයි ලෙසයි.. දිනක් ආච්චීද නොමැති අවස්තාවක මාත් මල්ලිත් ගස අසලට ගියෙමු. අල්ලන්න එපා ඔයා අපායට යයි. මන් මහ හයියෙන් කෑ ගැසුවේ මල්ලිටය. එහෙම වෙන්නෑ. මල්ලි ගසේ කටුවක් ස්පර්ශ කර පෙන්වූයේය. මන් කලිනුත් ඇල්ලුවා.. ඔහු කීය.. මන් ගොනෙකු සේ තදින් වැසූ ඇස් විවර කරමින් අත් දෙක කන් දෙකේ තබා තද කරමින් බලා සිටියෙමි. මල්ලී අපායට ගියේ නැත. අද සේම ඔහු පොඩි කාලේද බකම පණ්ඩිතයෙකි. කරන්නේම එපා කියන වැඩය.
😝    😝    😝    😝    😝    😝    😝    😝