ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ (2)

 පොඩි කාලේ (2)   

👶    👶    👶   👶    👶   👶   👶   👶

මෙය මා බිහිවී මාස තුනකට පසු කතාවකි. ඉපදී මාස තුනකින් කන් විදීම සෑම ගෑනු ළමයෙකුටම පොදු වූවකි. මාගේ කන් විද ඇත්තේ අදටත් ආච්චී බෙහෙත් ගන්නා එමෙන්ම අම්මගේ යෙහෙලියකගේ පියෙකුද වන ආයුර්වේද දොස්තර මහතාය. කන් විදිද්දී මා මහ හයියෙන් කෑ ගසා  හැඬුවේලු. දැගලූ හෙයින් අදටද මාගේ එක කනක ඇඳ වී ඇති කරාබු හිලකි. තාත්තාට නම් එදින හොඳටම දුක සිතුණු බව අම්මා පවසයි. කෙසේ හෝ එයින් දිනක් හෝ දෙකක් ගෙවුණු පසු ආච්චී මාවත් වඩාගෙන අමි ආච්චිලාගේ ගෙදරට ගොස් ඇත. 

අමි ආච්චී යනු අම්මාගේ තාත්තාගේ, එනම් මගේ සීයාගේ බාප්පාගේ පුතාගේ බිරිඳයි. වෙනත් ආකාරයකට කිවහොත් ලොක්කාතාගේ බිරිඳයි. මා ඇයට අමි ආච්චී යැයි කියන්නේ ඇයගේ දුව අමීෂාට මා අමී පුංචි ලෙසින් නම කෙටි කර හඳුනවන අතර ඉන් කඩා ගත් නම් කැබැල්ලෙන් ඇය අමි ආච්චී වී ඇත. මා ඇයට දැමූ ඒ නම හේතුවෙන් ඇය අදටත් ගමේ ළමුන් අතර ප්‍රසිද්ධ අමී ආච්චි ලෙසිනි. ලොක්කාතාගේ මෑණියන් මිසි ආච්චීය. මා ඉපදෙන විට ඈ දෑස් අඳ තැනැත්තියකි. වැරදි බෙහෙතක් ඇසට දැමීම නිසා ඇගේ මැදිවියේදී ඈ අඳ බවට පත්ව ඇත. 
 👵        👵           👵        👵        👵         👵          👵        👵          👵        👵          👵
ආච්චී මා සමඟ එහි යනවිට මිසි ආච්චී ගෙයින් එළියට පැමිණ මාගේ කන් අත ගා හානේ කෙල්ල කඩුක්කනුත් දාලා යනුවෙන් පවසා ඇත. ස්වල්ප වේලාවකින් ආපහු ආච්චී නිවසට පැමිණෙනවාත් සමඟ අමී පුංචි ආච්චී පසුපසින් ඇවිත් පවසා ඇත්තේ මිසි ආච්චීට හෘදයාබාදයක් සෑදී වැටුන බවකි. මිසි ආච්චී එදිනම මිය ගියාය. 

අමී ආච්චී පවසන්නේ "තාරු කන විද්ද එකට ආච්චී හරි සතුටු උණා. ආච්චී මැරුණේ හිතේ සතුටින්" යනුවෙනි. 

ඒ කෙසේ වෙතත් මා දුක් වෙන්නේ හා මට සිතෙන්නේ ඇය මිය ගියේ මා නිසා කියාය. ඔයා නැත්නම් මං මැරෙනවා කියූ ඇතැමුන් අතරේ මා නිසා මිය ගිය පළමු තැනැත්තිය ඇයයි.

😞      😞      😞     😞      😞       😞      😞       😞        😞      😞       😞      😞        😞

0 comments:

Post a Comment