ගැහැණු ළමයාගේ කතාව - පොඩි කාලේ (10)

පොඩි කාලේ  (10)
👶   👶   👶   👶   👶   👶   👶   👶  

පොඩි කාලේ මා බලා ගැනීම තාත්තා බාරගත් පසු වැඩ ඇරී ඇවිත්  මාගේ සියලු රාජකාරී කළේය. රෑට කැව්වේද තාත්තාය. මා වඩා ගන්නා තාත්තා මා මිදුලට ගෙනයයි. තාත්තා කවන්නේ කණාමැදිරියන් හා අහසේ තරු පෙන්නමිනි. මගේ නමේ අර්ථයද තාත්තා කියා දුන්නේ එවන් අවස්ථාවකදීය. අහසේ තරු ඇල්ලීමට මා අත දිගු කරමි.  අතට අහුවන්නේ නැත.

✨     ✨     ✨      ✨     ✨     ✨     ✨
ඉතින් තාත්තාත් මමත් අතට අහුවන කණාමැදිරියන් ඇල්ලීමට උත්සහ කරමි. කණාමැදිරියන් බහුලව සිටි එම කාලයේ එකවර දෙතුන්දෙනෙකු අල්ලා ගැනීම ඉතා පහසුව. ඒ උන් අපේ ඇඟේ හැපෙමින් පියාඹන නිසාය.  ඒ ඉක්මනින් කෑවොත් අල්ලා දෙන පොරොන්දුව මතය. තාත්තා කණාමැදිරියන් අල්ලයි. ඌව අතේ ගුලි කරගන්නා තාත්තා  මාමයිට් බෝතලයක් ගෙන එන ලෙස පවසයි. තාත්තා කිසිදිනක කණාමැදිරියන්ව මාගේ අතට දුන්නාදැයි මට මතක නැත. ඒ මාගේ අතින් කණාමැදිරියා පොඩි වේ යැයි බියෙනි.  කණාමැදිරියාට කන්නට කැන්ද කොළ කැබැල්ලකුත් දැමූ පසු මාගේ උවමනාව මත ඌට නිදන්නට පුළුන් කැබැල්ලක් දමයි.  කොට්ටයක් අනවශ්‍ය බව තාත්තා කියයි. වතුරද අනවශ්‍ය වේලු.නැතිනම් මා මුළු බෝතලයටම වතුර පුරවන බව තාත්තා දනී. ඌ වීදුරුව හරහා TV  බලන බවද තාත්තා කියයි. 

🐝     📺     🐝    📺    🐝     📺    🐝     📺

කුඩා මම බෝතලයේ සිටින ඌව කාමරයේ මේසය මත තබා බලා සිටිමි. ඇතැම් විටක තාත්තා මැජික් පෙන්නන බව පවසා කාමරයේ විදුලිය විසන්දි කර අල්ලාගත් කණාමැදිරියන් නිදහස් කරයි. කණාමැදිරියන් කාමරය පුරා පියඹන ආකාරය මා කට හැර බලා සිටිමි. තාත්තා විදුලි බුබුළ දල්වමින් වසමින් කණාමැදිරියන් පෙනෙන්නේ අඳුරේදී බව කියා දෙයි. එසේ කරමින් කළුවරේ නිදා ගැනීමට මා පුරුදු කළාදැයි මා අදටත් දන්නේ නැත. එවන් දිනවල මා නිදාගන්නේ කණාමැදිරියන් දෙස බලමිණි. ඇතැම් දිනවල උන් දින දෙක තුන පුරාවට කාමරයේ සිටිති. වැඩියෙන් කණාමැදිරියන් ඇල්ලුවහොත් උන් සියල්ල එකවර කාමරයේ පියාඹති.

🌟       🌟      🌟      🌟      🌟     🌟      🌟

අදවන විට කණාමැදිරියන් විරලය. පෙරදී මෙන් එකවර දෙතුන්දෙනෙක් අල්ලා ගැනීමද පහසු නැත. අද වනවිට මා වැඩිහිටියෙකි. පොඩි කාලයේ මා කළ දේවල් අද කරන්නේ පොඩි දරුවන්ය.  අවසන් වරට මා කණාමැදිරියන් අල්ලා දුන්නේ අයියාගේ දුවටය. නමුත් ඇයට මා මෙන් ඉඳහිට හෝ කණාමැදිරියන් දක්නට නොලැබෙන්නේ ඇය දැන් ජීවත්වන්නේ නගරයේ නිසාය.  හදිසියෙන් හෝ කණාමදිරියෙක් කාමරයට පැමිණියහොත් එදින කුඩා දරුවෙකු ලෙස මා උගේ පස්සා පැත්තේ තිබෙන එළිය ආවේ කෙසේද යන්න අදටද කල්පනා කරමි.

0 comments:

Post a Comment